වසර පහකට පසු ශ්‍රී ලාංකිකයෙකුගෙන් ද්විත්ව ශතකයක් !

වසර පහකට පසු ශ්‍රී ලාංකිකයෙකුගෙන් ද්විත්ව ශතකයක් !

22 January 2020 08:04 pm

ශ්‍රී ලංකා සිම්බාබ්වේ පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ ශ්‍රී ලංකා පළමු ඉනිම මීට සුළු මොහොතකට පෙර අත්හිටුවීමට තීරණය කළේය. ඒ වනවිට ශ්‍රී ලංකා පිතිකරුවන් කඩුලු 09 ක් දැවී ලකුණු 515 ක් රැස් කරගෙන සිටියේය.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිමේ ලකුණු 220 ක් ඉදිරියෙන් සිටී.

තෙවැනි දිනය වූ ඊයේ දිනය අවසන් වනවිට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 04 ක් දැවී ලකුණු 295 ක් ලබාගෙන සිටි අතර අද දිනයේ පළමු කඩුල්ල ලෙස ධනංජය සිල්වා ලකුණු 63 කට දැවී ගියේ පස්වැනි කඩුල්ලේ සබඳතාවය ලකුණු 98 ක‌ට සීමා කරමිනි.

ඉන් අනතුරුව ඇන්ජලෝ මැතිව්ස් සමග පිටියේ එක්වූ නිරෝෂන් දික්වැල්ල හයවැනි කඩුල්ල සඳහා ලකුණු 136 ක සබඳතාවයක් පැවැත්වීමට සමත් විය. දික්වැල්ල ද ලකුණු 63 කට දැවීගිය අතර ඒ වනවිට ඇන්ජලෝ මැතිව්ස් සිය මංගල ද්විත්ව ශතකය පෙනෙන මානයට පැමිණ සිටියේය.

මැතිව්ස්ගේ ද්විත්ව ශතකය වෙනුවෙන් මනා සහායක් ලබාදුන් සුරංග ලක්මාල් 07 වැනි කඩුල්ල සඳහා මැතිව්ස් සමග 49 ක සබඳතාවයක් පැවැත්වූ අතර ලක්මාල් ලකුණු 27 කට දැවී යාමත් සමග ඊළඟ පන්දුවේදී නවක පිතිකරු ලසිත් ඇඹුල්දෙනිය ද දවා ගැනීමට සිකන්දර් රාසා සමත් විය.

කෙසේ වෙතත් අටවන කඩුල්ලද බිඳවැටීමෙන් පසු මැතිව්ස් සිය ද්විත්ව ශතකය සම්පූර්ණ කර ගැනීමට සමත් විය. පන්දු 468 කින් වාර්තා වූ මැතිව්ස්‌ගේ ඉනිමට හයේ පහර 03 ක් හා හතරේ පහර 16 ක් අන්තර්ගත විය.

මෙම ද්විත්ව ශතකය ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු වසර පහකට පසුව වාර්තා කළ පළමු ද්විත්ව ශතකය වන අතර අවසන් වරට කුමාර සංගක්කාර 2015 වසරේ ජනවාරි මාසයේදී නවසීලන්තයට එරෙහිව ද්විත්ව ශතකයක් වාර්තා කළේය.

මෙය ඇන්ජලෝ මැතිව්ස් වාර්තා කළ 10 වැනි ශතකය ලෙස ද වාර්තා වේ.

තරගයේ ලකුණු පුවරුව....

UN