ණය පොලී ගෙවා ගත නොහැකිව යාපනයේ පවුලක්ම වස බොයි - මව මරුට- දෙදෙනෙකුට බරපතළයි

ණය පොලී ගෙවා ගත නොහැකිව යාපනයේ පවුලක්ම වස බොයි - මව මරුට- දෙදෙනෙකුට බරපතළයි

21 January 2020 12:45 pm

ණය පොලී මුදල් ගෙවා ගත නොහැකි වීම හේතුවෙන් යාපනය චාවකච්චෙරි පොලිස් වසමට අයත් මට්ටුවිල් චන්ද්‍රපුරම් ප්‍රදේශයේ පවුලක් ඊයේ (20) දින වසපානය කොට සියදිවි හානිකරගැනීමට ගත් උත්සාහයකදී කාන්තාවක් මිය ගොස් තිබේ.

තවත් දෙදෙනෙකු බරපතළ තත්වයෙන් රෝහල්ගත කොට ඇති බවට චාවකච්චේරි පොලීසිය පවසයි.

අධික ණය බර හේතුවෙන් මෙසේ සිය දිවි නසා ගැනීමට උත්සාහ කර ඇත්තේ එකම පවුලේ මව, දියණිය හා දියණියගේ සැමියා ය.  වස පානය කිරීමෙන් මිය ගොස් ඇත්තේ මව වන අතර දියණිය හා දියණියගේ සැමියා රෝහල්ගත කොට තිබේ. ඔවුන්ගේ තත්වයද බරපතල බවට යාපනය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරු පවසති.

වස පානයෙන් මිය ගොස් ඇත්තේ නවරත්නම් විමලේස්වරී නැමති 65 හැවිරිදි කාන්තාවකි.

මෙම විපතට හේතු වී ඇත්තේ ණය මුදල් ලබා ගෙන අදාල ණය මුදල් හා පොලී මුදල නියමිත දිනයන්ට ගෙවා ගැනීමට නොහැකි වීමෙන් ඇති වූ සිත් කණස්සල්ල සහ පීඩනය බව ප්‍රදේශවාසීන් පවසා තිබේ. 

චාවකච්චේරි පොලීසිය විසින් අදාළ සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

ඡායාරූපය - වස පානය කොට සියදිවි හානිකර ගැනීමට උත්සහ දැරූ පවුල ජීවත් වූ නිවස 

-  වන්නි රොමේෂ් මධුෂංඛ