පාස්කු ප්‍රහාරය: ප්‍රධාන චුදිතයා තවමත් නිදැල්ලේ - බෝම්බ ඇටෙව්වේ හේමසිරි සහ පූජිත් ද ?

පාස්කු ප්‍රහාරය: ප්‍රධාන චුදිතයා තවමත් නිදැල්ලේ - බෝම්බ ඇටෙව්වේ හේමසිරි සහ පූජිත් ද ?

21 January 2020 07:08 am

යහපාලනය පරාජය කොට පසුගිය නොවැම්බර් 16 යළි රාජපක්ෂ කඳවුර රාජ්‍ය පාලනය තහවුරු කරගැනීමට ප්‍රධාන වශයෙන් බලපෑ කාරණය වූයේ 2019 අප්‍රේල් 21 මෙරට ප්‍රධාන පෙළේ කිතුණු දේවස්ථාන හා ප්‍රකට සංචාරක හෝටල් කිහිපයක් තුළ සිදු වූ බෝම්බ පුපුරුවා ගැනීමය. නැත්නම් පාස්කු බෝම්බ ප්‍රහාරයය.

පාස්කු ප්‍රහාරයත් සමඟ සහරාන් හෂීම් සහ ඉස්ලාම් ආන්තවාදය කෙතරම් දුරට රට තුළ මුල් බැස ගෙන තිබුණේද යන්න සාක්ෂි ඕනෑවටත් වඩා වැඩියෙන් මතුවන්නට විය.

එය කෙසේවෙතත් අවසානයේ නැවත හැරවිය නොහැකි ඛේදවාචකයක් ඉතිහාස පොතට ගියේ දෙස් විදෙස් අහිංසකයන් 250කට වැඩි පිරිසකගේ ජීවිත උදුරා ගනිමිනි. තවත් පිරිසක් සදාකාලික ආබාධිතයන් කරමිනි. ජීවිත කාලය පුරාවටම සිය ආදරණීයයන්, හිතෛෂීන් අහිමි කරමිනි.

තිස් වසරකට අසන්න කාලයක් යුද්ධයේ පීඩාවත්, 71/88-89 හිෂණයේ පීඩාවත් විසින් හෙම්බත් කර තිබූ ශ්‍රී ලාංකේය සමාජයට තවත් බරක් හිසට ගන්නට සිදු වූයේ පාස්කු ප්‍රහාරයත් සමඟිනි.

රටේ හෘදය වන් ජාතික ආරක්ෂාව ඈලියාවට ගොස් තිබුණු අයුරු එකී පාස්කු ප්‍රහාරයෙන් අනාවරණය වූ අතර එය කෙතරම් දුරට දේශපාලන අවස්ථාවාදයට ගොදුරු වී තිබුණේද යන්න පැහැදිලි විය.

එවකට ජනාධිපති හා සේනාධිනායකයාව සිටි මෛත්‍රීපාල සිරිසේන ප්‍රහාරය පිළිබඳ තොරතුරු දැන ගැනීම සඳහා ත්‍රිපුද්ගල කමිටුවක් පත් කළ අතර අනෙක් පසින් පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කෙරුණි.

තොරතුරු දැන ගැනීමේ අයිතිය තහවුරු කරමින් පාර්ලිමේන්තු  විශේෂ කාරක සභාව මාධ්‍යයට විවෘත වූ අතර එමඟින් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වන බොහෝ කරුණු කාරණා මෙන්ම ජාතික ආරක්ෂාව සතේකටවත් මායිම් නොකර එය දේශපාලන ආශ්වාදයක් කරගෙන තිබූ අයුරුත් හෙළිදරව් විය. පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ අවසන් වාර්තාව අධ්‍යයනය කිරීමෙන් එය තහවුරු වෙයි.

මේ අතර සිරිසේන ජනාධිපතිවරයා විසින්ම පාස්කු ප්‍රහාරය විමර්ශනයට ජනාධිපති විශේෂ කොමිෂන් සභාවක් පත් කර තිබෙන අතර එහි කටයුතු මෙතෙක් අවසන් වී නැත.

එහෙත් මේ වනවිටත් සමාජය දන්නා කරුණු කාරණා රැසකි. ව්‍යුහගත අධිකරණයේ නඩු නොවිමසුවද ජනතා අධිකරණය තුළ මෙහි ප්‍රධාන වගඋත්තරකරුවන් කවුරුන් ද යන වග තවදුරටත් සැඟවීමට දෙයක් නැත.

එවකට ජනාධිපතිවරයා ලෙසත් සේනාධිනායකයා ලෙසත් මෛත්‍රීපාල සිරිසේන හැසිරුණ ආකාරය ලැජ්ජා සහගතය. සිය නිලධාරීන් මත වරද පටවා තවදුරටත් තමන් අහිංසක දේශපාලකයෙක් බවට පෙන්වීමට ගත්  උත්සාහය සී සී කඩ විසිර යන්නේ පාර්ලිමේන්තු කාරක සභා වාර්තාව එළිදැක්වීමත් සමඟය. එතෙක් ඔහු නොයෙක් නොයෙක් වංගු ගසා අත පිහදා ගැනීමට උත්සහ කරන ලදී. එහෙත් අප මතක තබා ගත යුතු කාරණය වන්නේ එවකට ඔහු ආරක්ෂක ඇමති ලෙසත් සේනාධිනායකයා ලෙසත්  ජනතාවට වග කියූ බවය.

පාර්ලිමේන්තු විශේෂ කාරක සභා අවසන් වාර්තාවට අනුව එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වන අවධානම ඊට පෙර දැන සිට ඇත. එහෙත් ඔහු ප්‍රහාරය එල්ල වීමෙන් අනතුරුව හැසිරුණේ තමන් කිසිවක් නොදන්නා අතර ආරක්ෂාව භාරව තමන් පත්කර සිටි නිලධාරීන් තමන්ව දැනුවත් කර නොතිබුණු බවයි.

එහෙත් රෙද්ද පල්ලෙන් ඕජස් බේරෙමින් තිබුණු බව සනාථ වන්නේ කාරක සභා වාර්තාවේ සඳහන් රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂවරයා ලබා දී ඇති  සාක්ෂි දෙස බලන විටය.

රාජ්‍ය බුද්ධි ප්‍රධානියා විසින් අප්‍රේල් 11 වැනි දින ප්‍රහාරයක අවධානම ගැන ජනාධිපතිවරයා දැනුවත් කර ඇති අතර ප්‍රහාරය සිදු වූ දින මෙරට වේලාවෙන්  පෙරවරු 07.30ත් 08.30ත් අතර කාලය තුළ දැනුම්දීමක් ලැබුණු බව ජනාධිපතිවරයා කාරක සභාව හමුවේ සාක්ෂි දී තිබේ. ප්‍රහාරය සිදුවන දිනය වන විට ජනාධිපතිවරයා සිංගප්පුරුවේ සිටි අතර එරට වේලාවෙන් පෙරවරු 10ත් 11ත් අතර කාලයේ එම දැනුවත් වීම ලැබුණු බවයි ජනාධිපතිවරයා සඳහන් කරන්නේ.

මේ අනුව වගකිව යුතු මුල් පුරවැසියා ලෙස දැනුවත්ව හෝ නොදැනුවත්ව නැත්නම් වගකීම් විරහිතභාවය මහා ඛේදවාචකයකට ඔහුද ඉඩ ලබා දී තිබුණි.

එහෙත් ප්‍රශ්නය වන්නේ තවදුරටත් ඔහු වගඋත්තරකරුවෙකු නොවී නිදහසේ,නිදැල්ලේ සිටීමය.

ජනාධිපති සිරිසේන මුලින්ම විනාශ කළේ යුධ හමුදාව!

ජාතික ආරක්ෂාව පිළිබඳ කතා කරන විට එහි වැඩි බරක් කරට ගෙන තිබුණේ යුධ හමුදාවය. විශාලම බුද්ධි බලකාය සිටින්නේද යුධ හමුදාවටය. එය යුධ ජයග්‍රහණය විසින් සහතික කර තිබුණි. එවන් අතිශය දරුණු දශක තුනක අධික කාලයක් දිග ඇදුණු ත්‍රස්තවාදයක් උදුරා දමන්නට සමත් වූ යුධ හමුදා බුද්ධි බලකායට ජනාධිපති සිරිසේන සමයේ සිදු වූයේ කුමක්ද?

එය පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනයට පත්කළ පාර්ලිමේන්තු විශේෂ  කාරක සභාව හමුවේ සාක්ෂි දීමට පැමිණි හිටපු යුධ හමුදාපති මහේෂ් සේනානායක විසින් ඔප්පුකර පෙන්වීය.

සහරාන් සිය කණ්ඩායම සමඟ බෝම්බ පුපුරුවා ගන්නාතුරු මෙරට යුධ හමුදාපතිවරයා සහරාන් ගැන මෙලෝ මලදානයක් දැන සිට නැත. ඉස්ලාමීය අන්තවාදීන් සම්බන්ධයෙන් ඔහුට කිසිදු බුද්ධි තොරතුරක් ලැබී නැත. අඩුම තරමේ ත්‍රස්ත විමර්ශන ඒකකය සතු වූ තොරතුරු ගැන හෝ යුධ හමුදාපතිවරයා දැන ගෙන නැත. පශ්චාත් යුධ ප්‍රීතිය ඇතැම්විට ඔහුව දිගින් දිගටම කුල්මත් කරමින් තිබෙන්නට ඇත.  

LTTE  මහමොළකරුවන්ගේ හිසට බෝම්බ අතහැරි, දෙපතුල ළඟට  ගොස් ඔවුන්ගේ අවසානය සටහන් කළ බුද්ධි බලකායක් සිටි ශ්‍රී ලංකා යුධ හමුදාවට සහරාන්ලා කොටු නොවූයේ ඇයි? එවකට යුධ හමුදාපතිවරයා ලෙස මහේෂ් සේනානායක සිය බුද්ධි කණඩායම යොදවාගෙන ඇත්තේ කුමක් වෙනුවෙන්ද? ඉස්ලාමීය අන්තවාදීන් සම්බන්ධ යම් යම් විවාදාත්මක කරුණු මතුවන විට එය ආරක්ෂක කවුන්සිලයේ සාකච්ජාවට ගැනෙන විට එහි බරපතලකම වටහා ගැනීමට තරම් නුවණක් ඔහුට තිබී නැත්ද ?

විශේෂයෙන් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂ වරුණ ජයසුන්දර විශේෂ කාර්ය බලකා නිලධාරියෙක් ලෙස සහරාන් හෂීම් සම්බන්ධයෙන් අනුගමනය කළ පිළිවෙත හා ඔහුගේ ස්ථාවරය යුධ හමුදාපතිවරයාට ගෝචර නොවීම  අවාසනාවන්ත තත්ත්වයකි.

මහේෂ් සේනානායක යුධ හමුදාපතිවරයා සම්බන්ධයෙන් ද ඇතැම් කරුණු කාරණා අනාවරණය වන්නේ ද මෙම ප්‍රහාරයෙන් පසුවය. සැබෑ ලෙසම ඔහු එම වගකීම් සහගත තනතුරට සුදුස්සෙක්ද යන වග එම කරුණු කාරණා අනුව නැගෙන ප්‍රශ්නයකි.

මහේෂ් සේනානායක යුධ හමුදාපතිවරයා ලෙස පත්වන විටම එම තනතුරට පත්වීමට අදාළ නිර්ණායක සියල්ල පාහේ උල්ලංඝනය කර තිබුණි. පළමු කොටම ජ්‍යෙෂ්ඨත්වයෙන් පහළ සිටි ඔහු හය හත් දෙනෙකු අභිබවා යුධ හමුදාපතිවරයා ලෙස සිරිසේන ජනාධිපතිවරයා විසින් නම් කරගෙන තිබුණි.

අනතුරුව ලොව කුමන හමුදාපතිවරයෙකු වීම සඳහා වුව ජාතික ආරක්ෂක උපාධිය අනිවාර්ය කාරණයකි. එය යුධ හමුදාවට පමණක් නොව එය ගුවන් හා නාවික හමුදා යන සියල්ලටම පොදු අදාළත්වයකි. එහෙත් එම අනිවාර්ය සුදුසුකම මහේෂ් සේනානායක සපුරා නොතිබුණි. නමුත් සිරිසේන ජනාධිපතිවරයා හමුවේ මහේෂ් සේනානායකට එයද අදාළ වී නොතිබුණි.

මේ අතර ඔහුට හමුදාව දෙසින්ම එල්ල වූ චෝදනාවක් වූයේ මහේෂ් සේනානායක යුධ පිටියක් හෝ දැක නොතිබුණු තැනැත්තෙකු  ලෙසය. එය වරක් වත්මන් ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකාද තහවුරු කර තිබුණේ මහේෂ් සේනානායක යුධ සමයේදී ද ෆයිල් ගොඩකට යට වී සිටි තැනැත්තෙකු ලෙස දක්වමිනි. මේ අතර ජාතික ආරක්ෂක පාසලට හෝ පය තබා නොතිබුණු තැනැත්තෙකු ලෙස ඔහුව හඳුන්වා දී තිබුණි.

එමෙන්ම විනය විරෝධී ක්‍රියා හේතුවෙන් හමුදා සේවයෙන් ඉවත් කර තිබුණු මහේෂ් සේනානායක එම කාලය තුළ ඩුබායි හි රැකියාවක නිරත විය. නමුත් වසර පහකට පසුව එම සියලු කාරණා අභිබවමින් යුධ හමුදාපති තනතුරට පත්වීමට සිටි සුදුස්සන් පසෙකට දමමින් මේ නුසුදුස්සා ඊට පත්විය. ඒ සිරිසේන  ජනාධිපතිවරයාගේ අනුහසිනි.

එවන් ජාතික ආරක්ෂාව ගැන හරි හැටි අධ්‍යාපනයක් නොමැති තැනැත්තෙකු එකී දැඩි වගකීම් සහගත තනතුරකට පත් වූ පසුත් ෆයිල් දෙස බලා හිඳිනවා හැර ජාතික ආරක්ෂාව විශ්ලේෂණය කර ගැනීමට ඇති හැකියාවක් නැත. විශාල බුද්ධි බලකායක්  සිටියදීත් පාස්කු බෝම්බය පුපුරායන තෙක්ම එකී යුධ හමුදාපතිවරයා කිසිත් දන්නේ ද නැත. ඔහුගේ නුසුදුසුකම ඒ තුළින්ම නිරූපණය වෙයි.

මේ අතර සේවයෙන් විශ්‍රාම ගොස් අවම මාස 06ක හෝ කාලයක් යන තෙක් කිසිදු දේශපාලන කටයුත්තකට සහභාගී විය නොහැකිය. එහෙත් එම කොන්දේසියද හිටපු යුධ හමුදාපති මහේෂ් සේනානායක විසින් නිර්ලජ්ජිතවම බිඳ දැම්මේ පසුගිය ජනාධිපතිවරණයට ඉදිරිපත්වෙමිනි.

සුපුරුදු ලෙස දැන් ඔහු රටෙත් නැත.  රාජ්‍ය පාලනයේ රූකඩයක් වූ ජනාධිපති සිරිසේන රටම රූකඩයක් සේ නටවද්දී ඔහුගේ යුධ හමුදාපති ලෙස මහේෂ් සේනානායක ශ්‍රී ලංකා යුධ හමුදාවත් ජාතික ආරක්ෂාවත් නැටවිය. වෙනත් කළ දෙයක් නැත.

ඒ අනුව නුසුදුස්සෙකු යුධ හමුදාපතිවරයා ලෙස පත් කර යුධ හමුදා බුද්ධි මෙහෙයුම් ඈලියාවට ඇරී ජනාධිපති සිරිසේන අවසාන වශයෙන් පාස්කු ප්‍රහාරය එල්ල වීමේ වගකීම භාරගත යුතු නොවේද?

එය ආචාර්ය මේජර් ජනරාල් බොනිෆස් පෙරේරා ඉතා පැහැදිලිව විග්‍රහ කර තිබේ.

 

ජාතික ආරක්ෂාවට වගකිව හැකි සුදුසුකම් අතින් ඉහළම තැනක සිටි ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට හිමිවිය යුතු තැන අහිමි වන විට පාස්කු බෝම්බ පිපිරුණේ නැත්නම් ඒ ගැන අප පුදුම විය යුතුය.

රටක් ලෙස තවදුරටත් අපි එවන් නිලධාරීන් ඔසවා තැබීම ප්‍රමාද කරමින් සිටින්නෙමු.

 පාස්කු ප්‍රහාරයේ වගකිවයුත්තන් මෙන්න (VIDEO)

පාස්කු බෝම්බ ඇටෙව්වේ හේමසිරි සහ පූජිත්ද?

හිටපු ජනාධිපති සිරිසේනගේ ළදරු හැසිරීම අනුව පෙනී යන්නේ කිතුණු දේවස්ථාන සහ සංචාරක හෝටල් තුළ පාස්කු බෝම්බ ඇත්තේ මේ වන විටත් රක්ෂිත බන්ධනාගාරගතව සිටින හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර බවය. ඔවුන් රක්ෂිත බන්ධනාගාර ගතවීමට පෙර සිටම පාස්කු ප්‍රහාරය එල්ල වීමේ වගකීම ඔවුන් මත පැටවීමට මේ සිරිසේන ජනාධිපතිවරයා දැඩි උත්සාහයක් ගනු පෙනෙන්නට තිබුණි.

එහෙත් ඔවුන් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා හා සේනාධිනායකයා ලෙස ජනාධිපති සිරිසේන කටයුතු කර තිබූ ආකාරය, ආරක්ෂක කවුන්සිලය මෙහෙයවා තිබූ ආකාරයෙන්ම පැහැදිලි විය.

ආරක්ෂක කවුන්සිලය දේශපාලනීකරණය කරමින් අගමැතිවරයා , පොලිස්පතිවරයා, රාජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා යන පුද්ගලයන් ආරක්ෂක කවුන්සිලයෙන් ඉවතට විසි කර තිබුණි.

එම ඝට්ටනයන් තවදුරටත් අවධාරණය කරමින් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාවේ සාක්ෂි දෙමින් පැවසුවේ තමන් ඉතා අසරණ ලේකම්වරයෙකුගේ තත්ත්වයක් පසු වූ බවයි.

මේ අතර පාස්කු ප්‍රහාරයෙන් පසු වගකීම භාරගන්නා ලෙස ජනධිපති සිරිසේන පොලිස්පතිවරයා වෙත බලකර තිබූ බවත් ඔහුට ඊට දක්වන කෘතගුණ සැලකීමක් සේ තානාපති ධූරයක් ලබාදීමටත් එකඟ වූ බව පූජිත් ජයසුන්දර  සිය සාක්ෂිදී පැවසුවේය.

ජනාධිපති සිරිසේනගේ කටේ නරි වාදන් රෙද්ද පල්ලෙන් බේරෙන්න පටන් ගත්තේම මෙම නිලධාරීන් දෙදෙනා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ සාක්ෂි දීමෙන් අනතුරුවය.

එතැන් පටන් ඔවුන් දෙදෙනා හඹා ගිය සිරිසේන ජනාධිපතිවරයා තමන්ගේ සායම හේදීයාම වළක්වා ගැනීමට හේමසිරි සහ පූජිත් භාවිතා කිරීමට කටයුතු කරන ලදී.

පසුගිය නොවැම්බර් 09 වැනිදා සිට මෙම නිලධාරීන් දෙදෙනා රක්ෂිත බන්ධනාගාරගතව සිටින අතර පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකළ ජනාධිපති,සේනාධිනායක හා ආරක්ෂක ඇමති ලෙස මෛත්‍රීපාල සිරිසේන තවදුරටත් නිදැල්ලේය. මේ උදේ හවස අපට පෙනෙන්නට තිබෙන අතිශය සරළ කාරණයයි.

මෙවැනි කාරණයකදී සාමූහික වගකීමකට ආරක්ෂාව භාර සියලු දෙනා බැඳෙන අතර එය පැවසීමට හෝ සිරිසේන ජනාධිපතිවරයාට කොන්දක් නොතිබුණි.

තමන් වෙත එල්ලවෙමින් තිබුණු චෝදනා මඟ හැරීමට උත්සහ කළ දේශපාලකයෙකුගෙන් ඊට එහා වගවීමක් බලාපොරොත්තු වන්නේ නම් ජනතාව ලෙස අපට පිස්සුය.

ජනාධිපති රටමම බොරු කියයි - ප්‍රහාරයක අවධානම ගැන දැනගෙන ඉඳලා