ඇමසන් අංක 1 කුරුඳු නිෂ්පාදනය සිරකරගෙන සිටින ශ්‍රී ලංකා රේගුවේ සැඟවුණු තර්ජන, භීතිකා , හිතලු සහ අල්ලස්

ඇමසන් අංක 1 කුරුඳු නිෂ්පාදනය සිරකරගෙන සිටින ශ්‍රී ලංකා රේගුවේ සැඟවුණු තර්ජන, භීතිකා , හිතලු සහ අල්ලස්

19 January 2020 10:41 pm

ගාල්ල තවලම ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ඇමසන් අංක1 දිනූ දේශීය කුරුඳු කුඩු පැකට් 2000 ක් රේගුව විසින් අත්තනෝමතික අන්දමින් රඳවා තබාගෙන ඇති බවට පුවත අප විසින් පසුගිය සතියේ ‘‘ඇමසන් අංක 1 දේශීය කුරුඳු නිෂ්පාදනය ශ්‍රී ලංකා රේගුවේ සිරවූ හැටි‘‘යනුවෙන් පළ කරන ලදී. එම ලිපියෙන් අප සඳහන් කළ ආකාරයට ලංකා නිව්ස් වෙබ් කණ්ඩායම මේ සිද්ධිය පිළිබඳ විමසීම් කිරීම සඳහා අදාළ රේගු බලධාරීන් හමු වූ අතර, එහිදී ඔවුන් පළ කළ ප්‍රතිචාරය සහ අනෙක් පාර්ශවයේ ප්‍රතිඋත්තර මේ ලිපියෙන් ඔබට පැහැදිලි වනු ඇත.

අප මුලින්ම හමු වූයේ ශ්‍රී ලංකා රේගුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් සහ මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා ය. අපි මුලින්ම ඔහුගෙන්, මෙම භාණ්ඩ රඳවා තබාගැනීම සම්බන්ධයෙන් රේගුව දරන ස්ථාවරය විමසුවෙමු. 

‘‘සාමාන්‍යයෙන් අපේ රේගු ආඥා පනතේ 43, 44 මේ වගේ වගන්තිවල තියෙන Schedule B එකේ වගේම, එයාපෝට් එකෙන් දෙන ඩෙක්ලරේෂන් එකේ පිටිපස්සෙ ඔයගොල්ලො දැකල ඇති, ‘රටක ස්වාධිපත්‍යයට, කිසියම් ජාතියකට ආගමකට අපහාසයක් වෙනව නම් ඒව සම්බන්ධයෙන් කටයුතු කරන්න‘ රේගුවට බලය තියෙනවා කියලා. සාමාන්‍යයෙන් මිනිස්සු හිතන්නෙ රේගුව නීතිවිරෝධී දේවල් අල්ලනවා වගේ දේවල්නෙ. නමුත් සමාජ සංරක්ෂණය කියල දේකුත් තියෙනවනෙ.‘‘

අනතුරුව සිය ජංගම දුරකථනයෙන් ප්‍රශ්නගත කුරුඳු පැකට්ටුවේ ලේබලය සහිත ඡායාරූපයක් ලබාගත් ඔහු, එහි වාක්‍යෙයන් කොටසක් කියවන්නට විය. 

‘‘මේකෙ තියෙන්නෙ, In Sri Lanka, most of the labor workforce consists of Indian Tamils who came to Sri Lanka during the days of British rule. Most of them still lack of Sri Lankan citizenship, which prohibits them from enjoying free education,... මෙහි අවසන් කොටස දෙවරක් කියවූ ඔහු, මෙසේ ඇසීය.

‘‘එතකොට ඔයා මොකද හිතන්නෙ? මේකෙන් කියනවා නිදහස් අධ්‍යාපනය ලැබෙන්නෙ නෑ කියලා.. එහෙම එකක් වෙන්නෙ නෑනෙ ලංකාවෙ..‘‘

එවැන්නක් ලංකාවේ සිදු නොවන බවට සහකාර රේගු අධ්‍යක්ෂවරයා පළ කළ මතයට රේගු අධ්‍යක්ෂ ඩබ්.කේ. රන්දෙණිය මහතා ද දැඩි සේ අනුමැතිය පළ කරයි. 

‘‘නෑ.. නෑ.. එහෙම වෙන්නෙ නෑ..‘‘

අනතුරුව අප වෙත ප්‍රශ්නයකි.

‘‘දැන් ඔයා හිතනවද ලංකාවෙ එහෙම දෙයක් වෙනව කියලා?‘‘

‘‘ඔව්. අපි ජර්නලිස්ට්ලා විදිහට දන්නවා මෙහෙම ප්‍රශ්නයක් තවම තියෙනව කියලා. උඩරටත් තියෙනවා පහත රටත් තියෙනවා..‘‘

‘‘ඇයි, ඉස්කෝලෙට දාන්න බැරිද?‘‘ රන්දෙණිය මහතාගෙන් සෝපහාසය මුසු ප්‍රශ්නයකි.

‘‘බෑ.. මොකද උප්පැන්න නැහැ..‘‘ අප සමග ගිය ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදියා ද පැවසීය. 

අනතුරුව සංවාදය මෙසේ ය.

රන්දෙණිය මහතා - ‘‘නෑ.. නෑ.. මම ඇහුවා. ඇත්තටම මේක පෞද්ගලිකව ගන්න එපා. ඒ අදාළ සම්භවයක් තියෙන අය මම දන්නවා. මං එයාලගෙන් ඇහුවා. එයාල කියනවා එයාල ඕනෙ වෙලාවක එන්නම්ලු, එයාල කියනවා එහෙම එකක් නෑ කියලා..!‘‘

ජයරත්න මහතා - ‘‘දැන් මේකෙ තියෙනවා නොමිලේ සෞඛ්‍ය පහසුකම් ගැනත්..‘‘

රන්දෙණිය මහතා - ‘‘එහෙම ප්‍රශ්නෙකුත් නැහැ. ඕනෙ ඉස්පිරිතාලෙකින් බෙහෙත් දෙනවා. ඕනෙ ඉස්කෝලෙකට දාන්න පුළුවන්..‘‘

ලංකා නිව්ස් වෙබ් - ‘‘අපි ඒ අවස්ථා අහිමි වෙච්ච අයගෙ කතා දන්නවා. අපි මේක වගකීම් සහගතව කියන්නෙ.. මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා..‘‘

ජයරත්න මහතා - ‘‘නෑ නෑ මේකයි. සරලවම කියනව නම්, ෆ්‍රී මෙඩිසින්ස් නැති අය ලංකාවෙ ඕනෙ තැනක, හම්බන්තොට ගියත්, පස්සර බදුල්ල පැත්තෙ ගම්වලට ගියත් ඉන්නවා. ෆ්‍රී එඩියුකේෂන්, මෙඩිසින් නෙවෙයි කන්ඩත් නෑ. ලංකාවෙ මේ දුප්පත්කමේ ප්‍රශ්නයක් තියෙන්නෙ. එතකොට මේකෙන් මේ ආයෙත් කියෙන්නෙ, ලංකාවෙ මේ කොන් වෙච්චි දෙමළ මිනිසුන් පිරිසක් ඉන්නව කියලයි. අවුරුදු 30 ක යුද්දයට හේතුව මොකක්ද? අපි පුරවැසියො විදිහට බලන්න ඕනෙ ජාතික සමගිය ඇති වෙන දේවල් නේහ්? බොරුවට අතිශයෝක්තියෙන් දෙයක් කියනව නම් වැරදියි..‘‘

ලංකා නිව්ස් වෙබ් - ඔව්, අපිත් කියන්නෙ බොරුවට කියනව නම් වැරදියි. ප්‍රශ්නෙ තියෙන්නෙ මේක ඇත්තට තියෙන ප්‍රශ්නයක්නෙ.

ජයරත්න මහතා - ‘‘අනික් එක අපි කියන්නෙ මේකයි.. අපි කියන්නෙත් අපිට මේව සම්බන්ධයෙන් තීරණ ගන්න බෑ.‘‘

මෙතැන ඇති පරස්පරය පාඨක ඔබ විසින් ග්‍රහණය කර ගනු ඇතැයි අපි විශ්වාස කරමු. සහකාර රේගු අධ්‍යක්ෂවරයා මුලින් නිදහස් සෞඛ්‍යය සහ නිදහස් අධ්‍යාපනය ලංකාවේ සැමටම ඇති බව කියයි. ලේබලයේ ඇත්තේ අතිශයෝක්තියක් බව නොකියා කියයි. නමුත් ලංකාවේ දුෂ්කර පළාත්වල නිදහස් අධ්‍යාපනය හා නිදහස් සෞඛ්‍යය පමණක් නොව, එදිනෙකා කුස පුරවාගත නොහැකි අය පවා සිටින බව ද ඔහුම පවසයි. එපමණක් නොව, මේ ගැටළුව පිළිබඳ තීරණක් ගැනීමට රේගුවට නොහැකි බව ද පවසයි. එසේ තීරණයක් ගත නොහැකි නම්, කුරුඳු තොගය රඳවා තබාගැනීමට ඔවුන් තීරණය කරන්නේ ඇයි?

සමාගමේ කිසිවෙක් පැමිණ නැහැ!

අනතුරුව රේගු අධ්‍යක්ෂ රන්දෙණිය මහතාට ‘පරීක්ෂණයේදී‘ සිදුවූ දේ පවසන ලෙසට සහකාර රේගු අධ්‍යක්ෂවරයා ඇරයුම් කරයි. 

‘‘නැවැත්තුවට පස්සෙ මේ කම්පැනි එකෙන් කිසිම කෙනෙක් ආවෙ නෑ. ඊට පස්සෙ අපි ලියුමක් ඇරල තිබුණා මෙහෙම ස්ටේට්මන්ට් එකක් දෙන්න එන්න. මෙහෙම ප්‍රශ්නයක් තියෙනව කියලා. ඊට පස්සෙ එක්කෙනෙක් ආවා. ස්ටේට්මන්ට් එකක් දුන්නා. අන්තිමට එයා කවුද කියල ඇහුවාම මම තමයි මේකෙ සප්ලයර් කියල කිව්වා... මේ එක්ස්පෝට් කරපු කම්පැනියෙ කිසිම කෙනෙක් අද තව වෙනකල් ආවෙ නෑ. ඊට පස්සෙ අපි වෝප් ක්ලාක්ට කිව්වා, (ඒජන්ට්) මේකෙ මේ ලේබල් එක මාරු කරල යවන්න කියලා. ඒගොල්ලො ඒකට කැමති වෙන්නෙ නැතිව දැන් මේ වගේ වෙබ් සයිට්වල දාල රාවය වගේ පත්තරවල දාලා එක එක දේවල් කර කර ඉන්නවා..‘‘

කෙසේ වෙතත්, කුරුඳු තොගයේ සැපයුම්කරුට මේ කුරුඳු තොගය පිළිබඳ රේගුවට ප්‍රකාශයක් දිය නොහැකිදැයි යන නීතිමය ප්‍රශ්නය විසඳීම මතුවට තබමු. මේ සැපයුම්කරු රන්දෙණිය මහතා සමග පැවැත්වූ සාකච්ඡාව පිළිබඳ අපව දැනුවත් කර ඇති අතර, අවම වශයෙන් ඔහුගේ ප්‍රකාශයේ පිටපතක් ඔහුට ලබාදීම පවා රේගු බලධාරීන් විසින් ප්‍රතික්ෂේප කළ බවත්, අවසානයේ බැණ එළවා ගත් බවත් අපට දැනගන්නට ලැබිණි. කෙසේ වෙතත්, ලංකා නිව්ස් වෙබ් වටහාගත් ආකාරයට, මෙහිදී සැබවින්ම අදාළ  සමාගම විසින් කිසියම් නියෝජිතයෙකු ඇටෝර්නි බලපත්‍රයක් සහිතව රේගුවට එවිය යුතු ව තිබූ බව ද මෙහිදී අපි පිළිගතිමු.

මෙවැනි ප්‍රශ්නයක් විසඳා ගැනීමේදී රේගු පරිචය ‘ඇවිත් හමුවීම‘ නම්, විය යුතුව තිබුණේ එය නමුත්, ඇමරිකාවේ සිටින මෙම ව්‍යාපාරයේ හිමිකරු විසින් දීර්ඝ ඊ මේල් පණිවුඩ රේගු අධ්‍යක්ෂවරයා වෙත මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් යොමු කර ඇති බව ද අප වෙත දැනගන්නට ලැබේ. එහි පිටපත්ද අප සතුය. තවද පසුගිය ලිපියෙන්, රේගු බලධාරීන් දුරකථනය ඔස්සේ සම්බන්ධ කර ගැනීමේදී ඔහු ලක්වූ අපහසුතා ගැන ද අප විසින් ලියා තිබේ.

ලංකා නිව්ස් වෙබ් ලිපියෙන් පසු මුදල් අමාත්‍යාංශයෙන් උපදෙස් පතයි!

‘‘අපි ඔක්කොටම ඉස්සෙල්ලා රට ගැන හිතන්නෙ එපැයි..‘‘ ඒ, සුනිල් ජයරත්න මහතා ය. 

මේ අතර රන්දෙණිය මහතා අනාවරණය කළේ, පෙර ලිපිය අප විසින් පළ කළ නිසාම, මේ පිළිබඳ මුදල් අමාත්‍යාංශය වෙත ද දැනුම් දුන් බව ය. ‘‘අපි මිනිස්ට්‍රි එකෙන් ඇහුවා මේක ගැන අපි මොනවද කරන්න ඕනෙ කියලා.. මීට පස්සෙ අපි මේ වගේ ඒව නවත්තන්න එපාද කියලා...“

ශ්‍රී ලංකා රේගුව පවතින්නේ මුදල් අමාත්‍යාංශය යටතේ ය. මේ පිළිබඳ තමන්ට තීරණයක් ගත නොහැකි බව රේගුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල්වරයාම පවසයි. නමුත් ලංකා නිව්ස් වෙබ් ලිපිය පළ වන තෙක්ම, එනම් කුරුඳු තොගය නතර කර මාස 5 ක් ඉක්ම යන තෙක්ම ඔවුන් සිය රේඛීය අමාත්‍යාංශයෙන් උපදෙස් පතා තිබුණේ නැත. අනෙක් අතට, ‘‘මීට පස්සෙ අපි මේ වගේ ඒව නවත්තන්න එපාද?“ යන ප්‍රශ්නය තුළ ගැබ්ව තිබෙන්නේ ‘‘රටේ ස්වාධිපත්‍යයේ භාරකාරයා ශ්‍රී ලංකා රේගුවයි..‘‘ වැනි කතාවකි. එසේ නම් මේ රටට විදේශ කටයුතු අමාත්‍යාංශයක් හෝ ස්වදේශ කටයුතු අමාත්‍යාංශයක් හෝ ආරක්ෂක අමාත්‍යාංශයක් කුමටද යන පැනය ද අපට මෙහිදී මතු වේ. 

රේගුවට ‘හිතෙන දේවල්‘!

අනතුරුව රන්දෙණිය මහතා මෙසේ ද පැවසීය. ‘‘මම හිතන විදිහට.. මම හිතන විදිහට මෙයාල මේ ලේබලේ වෙනස් කරන්න කැමති නෑ. මේ ලේබලේ මේ වාක්‍යය දාන්නෙ NGO එකක් හරහා හිතාමතා...කෙටියෙන් කියනව නම් මේක එන්ජීඕ සහ ඩයස්පෝරා වැඩක්...! මෙයාල මේ ලේබලේ වෙනස් කරන්න කැමති නෑ..‘‘ 

ඔවුන් මේ ප්‍රශ්නය පිළිබඳ මාධ්‍ය මැදිහත් වීම දුටුවේ ‘මාධ්‍ය හරහා බලහත්කාරයෙන් තර්ජනය කරල කරගන්න යන දෙයක්..‘ ලෙස ය. එනිසා ඔවුන් මේ ප්‍රශ්නය මාධ්‍ය සමග පවසන්නේ රේගුව විසින් කුරුඳු තොගය නතර කර මාස 5 ක් වැනි විශාල කාලයකට පසුව බව අපට සිහිපත් කර දීමට සිදුවිය. අසාධාරණයට ලක්වූ හෝ ලක්වූ බව විශ්වාස කරන මිනිසුන් අවසානයේ මාධ්‍ය වෙත නිරාවරණය වීම වැළැක්විය නොහැකි බවත්, එ්වා හෙළිදරව් කිරීම මාධ්‍යෙවේදීන්ගේ වගකීමක් මෙන්ම අයිතිවාසිකමක් ද බවත් මෙහිදී ලියා තබමු. 

රන්දෙණිය මහතාගේ නියැදිය

‘‘කවුරු හරි ඉස්කෝලෙ යන්නෙ නැති ළමයෙක් ඉන්නවද කියල අහල බලන්නකෝ..‘‘ මේ අභියෝගය රන්දෙණිය මහතාගෙනි. ඔහු විසින් ‘අදාළ සම්භවය ඇති‘ අයගෙන් විමසා ලබාගත් නිගමනයට නියැදිය වශයෙන් කී දෙනෙක් යොදාගෙන ඇත්දැයි ලංකා නිව්ස් වෙබ් විමසන්නේ මේ පසුබිම තුළය. 

නමුත් එයට නිසි පිළිතුරක් ලැබෙන්නේ නැත. ඇතැම්විට ඔහු පුරවැසිභාවය පරීක්ෂා කර බැලුවේ, පුරවැසිභාවය හිමි අල්පයක් වන පහතරට දමිල සම්භවයක් සහිත වතු කම්කරුවෙකුගෙන් විය යුතුය. (මෙහි ලේබලයේ සඳහන් වන්නේ ඉන්දීය සම්භවයක් සහිත දමිල වතුකම්කරුවන්ගෙන් බහුතරයකට තවමත් පුරවැසිභාවය අහිමි හෙයින්, පුරවැසිභාවය සමග හිමිවන ප්‍රතිලාභ ඔවුන්ට තහනම් වී ඇති බව ය) තවද (පර්යේෂණ?) නියැදියක් එක් අයෙකුගෙන් හෝ දෙදෙනෙකුගෙන් පමණක් සමන්විත වන අවස්ථාවක් ගැන අප නම් අසා නැත.

රේගුවට ප්‍රශ්න 4 ක්

අප විසින් ලිඛිත ඉල්ලීමක් වශයෙන් රේගුවට මේ සිදුවීම සම්බන්ධයෙන් ප්‍රශ්න 4 ක් යොමු කරන ලදී. ඒවායේ සිංහල පරිවර්තනය පහත දැක්වේ.

1. ශ්‍රී ලංකා රේගුව කුරුඳු තොගය රඳවා ගැනීමට හේතු
2. සමාගම සහ රේගුව අතර විධිමත් සන්නිවේදනයක් සිදු වී තිබේද?
3. පරීක්ෂණ/විමර්ශන ක්‍රමවේදය
4. ගතවූ වසර 5 තුළ මේ අන්දමින් රේගුව විසින් සමාන හේතූන් මත භාණ්ඩ රඳවා ගත් අවස්ථා

මෙම තොරතුරු සැපයීම අතිරේක අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් රන්දෙණිය මහතා වෙත භාර කෙරිණි.

මෙහි පළමු ප්‍රශ්නයට පිළිතුරු දැනටමත් අප වෙත ලැබී ඇති හෙයින්, 2 වැනි ප්‍රශ්නය අපි ඇසුවෙමු. එයට පිළිතුර වූයේ මෙයයි. ‘‘ලිපිය නම්.. මෙහෙ නෑ.. ඒව තියෙන්නෙ කටුනායක... රේගු අධ්‍යක්ෂ ජනරාල්ට රික්වෙස්ට් එකක් කරන්න ඕනෙ.‘‘

ලංකා නිව්ස් වෙබ් - ‘‘එහෙම නම් අර සප්ලයර්ගෙ ස්ටේට්මන්ට් එකේ කොපියක් ගන්න පුළුවන්ද?“

රන්දෙණිය මහතා - ‘‘ස්ටේට්මන්ට් එහෙම දෙන්න බෑනෙ..‘‘

ලංකා නිව්ස් වෙබ් - ‘එහෙම නම් මම RTI යටතේ ඉල්ලන්නම්.‘‘

රන්දෙණිය මහතා - ‘‘ඒ මොකක්ද?‘‘

ලංකා නිව්ස් වෙබ් - ‘‘තොරතුරු දැනගැනීමේ පනත යටතේ‘‘

රන්දෙණිය මහතා - ‘‘ස්ටේටමන්ට් එහෙම දෙන්න බෑනෙ. එයාගෙ ලෝයර් කෙනෙක් ඉල්ලුවොත් දෙන්න පුළුවන්.. ප්‍රකාශයක් කියන එක.. ඒක එයා තනියම දෙන එකක්නෙ. ඒක තව කාටවත් දෙන්නෙ නෑ..‘‘

බාගවිට රන්දෙණිය මහතා තොරතුරු දැනගැනීමේ පනත පිළිබඳ නොදන්නවා විය හැකිය. මේවා රහස්‍ය ලේඛන නොවන බවත්, තුන්වැනි පාර්ශවයක තොරතුරු ද තොරතුරු දැනගැනීමේ පනත යටතේ ඉල්ලා සිටිය හැකි බවත් ඔහු නොදන්නවා වුවද, රේගුවේ තොරතුරු නිලධාරියා දන්නවා ඇතැයි අපි සිතමු. (මේ සාකච්ඡාවෙන් පසුව ලංකා නිව්ස් වෙබ් මෙයට අදාළව තොරතුරු ඉල්ලීමක් ගොනු කර තිබේ).

මේ ලේබලයෙන් නම් යවන්න දෙන්නෙ නෑ. රී පැක් කරල යවන්න කියන්න!

රන්දෙණිය මහතා තවදුරටත් අවධාරණය කළේ මෙම පැකට්ටුවේ මේ ලේබලය යටතේ කිසිසේත්ම මෙය අපනයනය කිරීමට ඉඩ දිය නොහැකි බවයි. ආයතනයේ හිමිකරු තමන්ට ඇමරිකාවේ සිට කතා කළ බවත්, ඔහු ලේබලය වෙනස් කිරීම ප්‍රතික්ෂේප කළ බවත් රන්දෙණිය මහතා පවසන නමුත්  ආයතනයේ හිමිකරු පවසන්නේ තමන් කිසිදු විටෙක රන්දෙණිය මහතා සමග කතා කර නැති බවයි. ඔහු ව දුරකථනයෙන් සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළ ද එය අසාර්ථක වූයේ යැයි පැවසෙන ප්‍රකාශය මීට පෙර ද අප විසින් සටහන් කර තිබේ.

‘‘මේ කුරුඳු තොගය නවත්තගන්න අපිට තියෙන උවමනාව මොකක්ද කියන්නකො..‘‘ රන්දෙණිය මහතා පවසයි. 

‘‘ඒක තමයි අපිටත් තියෙන ප්‍රශ්නෙ..‘‘ අපි පැවසුවෙමු. 

ශ්‍රී ලංකා රේගුවට ද ලංකාවේ ජනප්‍රියවාදී පාඨයක් වන ‘ඩයස්පෝරා සහ එන්ජීඕ‘ භීතිකාව වැළඳී ඇති බව අපි මෙහිදී නැවත වරක් නිරීක්ෂණය කළෙමු.

‘‘දවසට එක්ස්පෝට් එකේ කන්ටේනර් 500 ක් යනවා. අපි එහෙම එක්ස්පෝට් නතර කරන්නෙ නෑ. මෙයාල මේ අමුතු කතා කියන්නෙ. අපිට හොඳටම පැහැදිලියි මේකෙ පිටිපස්සෙ එන්ජීඕ එකක් ඉන්නවා. ඩයස්පෝරා ඉන්නවා මේකෙ පිටිපස්සෙ.. මේක ඩයස්පෝරාවෙ අවශ්‍යතාවයට කරන ගේම් එකක් මෙතන යන්නෙ..‘‘

ගතවූ වසර 5 තුළ කිසිදු අවස්ථාවක මේ අන්දමින් භාණ්ඩ අපනයනය නතර කර නැති බව ද රන්දෙණිය මහතා පැවසීය.

මෙම ලේබලයේ ඡායාරූප සමාජ මාධ්‍ය වෙත මුදා හරිමින් වෛරී සහගත ත්‍රෙඩ් එකක් නිර්මාණය කළ රේගු නිළධාරියා සම්බන්ධයෙන් යම් ක්‍රියාමාර්ගයක් ගන්නේදැයි අප විමසූ විට රන්දෙණිය මහතා එම ප්‍රශ්නයට පිළිතුරු දීමටවත් උනන්දුවක් දැක්වූයේ නැත.

‘‘ඔයාල බලාගෙන ඉන්න. ඉස්සරහට වෙබ් වලින්ම මේකෙ අයිතිකාරය ගැන හොඳ හොඳ විස්තර එළියට එයි!..“ ශ්‍රී ලංකා රේගුවේ වගකිව යුුතු ඉහළ පෙළේ බලධාරියෙකු විසින් ම පැවසූ මේ තර්ජනාත්මක බව තැවරූ ප්‍රකාශය දෙස, වගකිව යුතු මාධ්‍යයක් ලෙස ලංකා නිව්ස් වෙබ් විමසිල්ලෙන් බලා සිටියි.

රේගුව ලක්ෂ 5 ක අල්ලස් ඉල්ලලා!

‍මෙම සාකච්ඡාවෙන් අනතුරුව අප විසින් මෙම සමාගමේ හිමිකරු සම්බන්ධ කර ගත් අතර, එවිට ඔහු පැවසුවේ, මෙම කුරුඳු තොගය සම්බන්ධයෙන් නීතිමය කටයුතු කිරීමට වරක් නීතීඥවරයෙකු හරහා උත්සාහ කළ බව ය. එවිට රේගුවේම (නම මෙහි සඳහන් නොකරන) නිලධාරියෙකු හරහා ඔහුට ලැබී ඇති තොරතුරු වලට අනුව, වසර 4කට පසු මේ කුරුඳු තොගය නතර කරන්නේ මෙම කුරුඳු කර්මාන්තයේම නියැළි තරගකාරී ව්‍යාපාරිකයෙකුගේ යම් මැදිහත් වීමක් මත ය. මෙය සනාථ කළ හැකිද නොහැකිද යන කාරණය පසෙක තැබුවහොත්, රේගුවේම නිලධාරියෙක් ‘‘ලක්ෂ 5 ක් දෙන්න. මේක යවල දාන්නම්..‘‘ යැයි ද සමාගම් හිමිකරු සමග පවසා තිබේ! නමුත් සිය ව්‍යාපාර ජීවිතයේදී කිසිදාක ප්‍රතිපත්තියක් ලෙස අල්ලස් නොදෙන බැවින් සමාගම් හිමිකරු මෙම යෝජනාව ප්‍රතික්ෂේප කර ඇත.

‘‘දැනට මේ කුරුඳු තොගය තියෙන්නෙ ගුවන් ගැල්ගම වෙයා හවුස් එකේ. මේක එළියට ගන්න නම් අපිට අමතරව කුලිය විදිහට මේ වෙද්දි ලක්ෂ 10 ක විතර මුදලක් ගෙවන්න වෙනවා. රේගුවෙන් අල්ලන හෙරොයින් එහෙම තියෙන්නෙත් ඒ වෙයා හවුස් එකේම බව අපිට දැනගන්නට ලැබිල තියෙනවා. බැරි වෙලාවත් මේ අය අපිත් එක්ක තියෙන තරහට මේ කුරුඳු පැකට් එකක් ඇතුළට හෙරොයින් පැකට් එකක් දැම්මොත්...!‘‘

ශ්‍රී ලංකාවේ පුරවැසියන්ට ශ්‍රී ලංකා රේගුව පිළිබඳ ඇති විශ්වාසය අද වන විට මේ තරමටම පිරිහී තිබේ. 

‘‘අපි ලේබලයේ කිව්වෙ බොරුවක් නෙවෙයි. අපි ඒ මිනිස්සු වෙනුවෙන් අවුරුදු ගාණක් මේ කුරුඳු පැකට් එකෙන් ලැබෙන ආදායමෙන් යම් කොටසක් වැය කරලා දරුවන්ට ඉගැන්නුවා. ලංකාවෙ ඉමේජ් එක ටානිෂ් වෙන්නෙ ඇත්ත තත්වය කියන එකෙන්ද, නැතිනම් මේ වගේ මිනිස්සු අපේ රටේ ඉන්න එකෙන්ද?... මම මේ පාඩුව විඳ දරා ගන්නම්. නමුත් මට සිද්ධ වුණු අසාධාරණයට මම නීතිමය කටයුතු ඉදිරියේදී කරනවා.. ‘‘ ඒ සමාගම් හිමිකරුගේ හඬ ය. 

ඒ අනුව මේ ලේබලයේ නීති විරෝධී යමක් සඳහන් ව ඇතිදැයි නිශ්චය කිරීමේ කටයුත්ත ගරු අධිකරණයට භාර වීමට නියමිත ය. 

පසු සටහන-

සමාජ ප්‍රශ්න කෙරෙහි සංවේදී මාධ්‍යයක් සහ ලංකාවේ සහ ජාත්‍යන්තර වශයෙන් ඉහළ පාඨක පිරිසක් හිමි වගකිව යුුතු වෙබ් අඩවියක් වශයෙන් ලංකා නිව්ස් වෙබ් වෙත අතිරේක වගකීමක් පැවරී ඇත. ඒ, ශ්‍රී ලංකා රේගුව කිසි ලෙසකින් පිළිනොගන්නා මනුෂ්‍යන් කණ්ඩායමකගේ පැවැත්ම සනාථ කිරීමේ වගකීමයි. ඒ වගකීම ලංකා නිව්ස් වෙබ් සතුටින් භාරගන්නා බව මෙසේ සටහන් කරමු. රන්දෙණිය මහතා පැවසූ ‘අදාළ සම්භවයක් තිබෙන අය‘ පිළිබඳ ලිපි මාලාවක්, එනම් හැඳුනුම්පත් නැති, උප්පැන්න සහතික නැති, එල්ආර්ටී සැත්කම් ප්‍රතික්ෂේප වූ, රුපියල් පහළොස් දහසක ණයකට පවුල් පිටින් මිලදී ගත හැකි - නිර්දය ලෙස අමතක කර දමා ඇති ගැහැණුන්, පිරිමින් සහ දරුවන්ගේ කතා මාලාවක් ලංකා නිව්ස් වෙබ් වෙතින් නුදුරේදීම බලාපොරොත්තු වන්න...

- සුලෝචනී ගුණරත්න

 පෙර ලිපිය - ඇමසන් අංක 1 දේශීය කුරුඳු නිෂ්පාදනය ශ්‍රී ලංකා රේගුවේ සිර වූ හැටි