යුධ හමුදාවෙන් ආපදා ප්‍රතිචාර පුහුණු මධ්‍යස්ථානයක්!

යුධ හමුදාවෙන් ආපදා ප්‍රතිචාර පුහුණු මධ්‍යස්ථානයක්!

19 January 2020 06:40 pm

කොත්මලේ ජලාශයේ ඔරුවක් පෙරළීමේ අනතුරක සම්බන්ධයෙන් ශ්‍රී ලංකා යුද හමුදා ආපදා ප්‍රතිචාර පුහුණු මධ්‍යස්ථානය වෙත ලද තොරතුරකට අනුව ඔවුන් යුහුසුළුව ක්‍රියාත්මක වී ඔරුවේ සිටි තැනැත්තා බේරාගැනීමට එම ජීවිතාරක්ෂක නිලධාරීන් කටයුතු කර තිබේ. 

පුහුණුව, සූදානම සහ අවදානයෙන් පසුවීම යන තේමාව යටතේ අංග සම්පූර්ණ විශිෂ්ඨ පුහුණුවක් ලබා සිටි ශ්‍රී ලංකා යුද හමුදා ආපදා පුහුණු ලත් සෙබළුන්  පුද්ගලයෙකුගේ ජිවිතය රැක ගනිමින් සිය වික්‍රම විදහා දැක්වූයේ ආපදා ප්‍රතිචාර පුහුණු මධ්‍යස්ථානයට වසරක් පිරීම නිමිත්තෙන් පැවැත්වීමට නියමිත සංවත්සරික උත්සවය සඳහා සූදානම් සිටියදීය.

ආපදා වලදී  තුවාලකරුවන් මුදා ගැනීමේ  වගකීම නිරායාසයෙන්ම පැවරෙනුයේ ආරක්ෂක අංශ නිලධාරීන් වෙතය. පොලීසිය, යුද, නාවුක, ගුවන් හා සිවිල් ආරක්ෂක බලකා සෙබළුන් තුවාලකරුවන් මුදා ගැනීම සහ ආරක්ෂිතව රෝහල් ගත කිරිමෙහිලා දායක වන අතර පිරිස් බලය අතින් විශාල කාර්යය භාරයක් යුද හමුදා සෙබළුන් විසින් සිදු කරනු ලබයි.

ශ්‍රී ලංකා යුද හමුදාව විශාල කාර්යභාර්යක් සිදු කළත් ආපදා කළමණාකරණය වෙනුවෙන් මේ දක්වාම ඔවුන් වෙත නිසි විධිමත් පුහුණුවක් ලබා දී නොමැත.

යුද හමුදා පුහුණුවීම්වලදී ලත් උපදෙස් හා මාර්ගෝපදේශයන් අනුව යමින්  හමුදා සෙබළුන්  ආපදා සහන කටයුතුවල නිරත වුවත් නිසි පුහුණූවක් නොලැබීම නිසා අතපසුවීම්වලින් ජීවිත හානි පවා සිදුවීමේ අවදානමක් පවතී.

මෙම තත්ත්වය වළක්වා ගැනීම සඳහා ආපදා කළමණාකරණය වෙනුවෙන් ශ්‍රී ලංකා යුද හමුදාවට පුහුණුවක් ලබාදීම සඳහාම  නව පුහුණු මධ්‍යස්ථානයක් ගම්පොල අටබාගේ ප්‍රදේශයේ ශ්‍රී ලංකා යුද හමුදා ආපදා ප්‍රතිචාර පුහුණු පාසල නමින් ආරම්භ කර ඇති අතර එහි කටයුතු  මාධ්‍ය වෙත හදුන්වාදීම පසුගියදා සිදුවිය.

මධ්‍යම කදුකරය ආපදා බහුල ප්‍රදේශයක් වන අතර ගම්පල අටබාගේ අක්කර දහයක පමණ භූමි ප්‍රමාණයක ස්ථාපිත මෙම පුහුණු පාසල ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට අයත් කොත්මලේ ජලාශය හා ඒ අවට තෝරා ගත් ප්‍රදේශයන්හි සිට සිය පුහුණු කටයුතු දියත් කොට තිබේ.

ආපදාවක් වුණු සැණින් අදාළ ස්ථානයට ගොස් තුවාලකරුවන් මුදා ගැනීම, ඔවුන්ට ප්‍රථමාධාර ලබාදීම, තුවාලකරුවන් කඩිනමින් රෝහල් ගත කිරීම ආදී විවිධ කාර්යයන් ඉටු කරන්නේ ආරක්ෂක නිලධාරීන් විසින්. නමුත් මේ දක්වා ඔවුන්ට විධිමත් ආපදා කළමණාකරණ පුහුණුවක් ලැබී නැත. ඒ නිසා දැනට වසරකට ආසන්න කාලයක සිට මෙම පුහුණු පාසල පවත්වා ගෙන යයි. යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ අණ හා උපදෙස් මත තෝරා ගත්  ආපදා විසිපහකට මුහුණදීම සඳහා යුද හමුදා සෙබළුන් පුහුණු කිරීම මෙම ආයතනය තුළදී සිදුවෙයි.

ගං වතුර, නාය යාම් වැනි සුලභ ආපදා පමණක් නොව විෂ රසායනික කාන්දුවීම්, උස් ගොඩනැගිලි කඩා වැටී තුවාල කරුවන් මුදා ගැනීම වැනි සංකීර්ණ ආපදාවලට පවා සෙබළුන් පුහුණූ කිරීම මෙම මධ්‍යස්ථානය තුළ මේ වන විට සිදුවන බව එහි ප්‍රධාන අණ දෙන නිලධාරී කර්නල් සුසුන්ත අමරකෝන් මහතා සඳහන් කළේය.
ආරම්භකොට වසරකට ආසන්න කාලයක් ගත වන ආපදා ප්‍රතිචාර පුහුණු මධ්‍යස්ථානය මගින් පුහුණුව ලබන ආරම්භක සෙබළුන් පන්දහසක් දිවයිනේ විවිධ ප්‍රදේශවල ස්ථාපිත යුධ හමුදා කඳවුරුවල සේවයෙහි අනුයුක්ත කරන අතර මින් ඉදිරියට ශ්‍රී ලංකාව තුළ සිදුවන යම් ආපදාවකදී එම කණ්ඩායම්  නායකත්වය ලබා ගැනීමේ හැකියාවෙන් යුක්තව යොදවන බව ප්‍රධාන අණදෙන නිළධාරීවරයා කීවේය.

දඹුල්ලේ සිට උතුර දෙසට සෙබළු දෙදහස් පන්සියකින් සමන්විත කණ්ඩායමක් සහ දඹුල්ලේ සිට දකුණු දෙසට ද දෙදහස්පන්සියයකින් සමන්විත කණ්ඩායමක් ආපදා කළමනාකරණය වෙනුවෙන් යෙදවීමට අපේක්ෂිතය.  යුද්ධයෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ මරණ වැඩි ප්‍රමාණයක් ආපදා හේතුවෙන් සිදුවන නමුත් බොහෝ පිරිසක් ඉන් මරණයට පත්වන්නේ ආපදා පිළිබද අවබෝධය හා දැනුම නොමැති වීම නිසාය.  ජීවිත බේරා ගැනීම වෙනුවෙන් ඉදිරිපත් වන ඇතැම් ආරක්ෂක නිලධාරීන් ජීවිත අහිමිවීමට ලක්වන අතර ඔවුන්ට ආපදා පිළිබද යම් හෝ පුහුණුවක් ලබාදී ඇත්නම් එම ජීවිත ද ආරක්ෂා කර ගැනීමේ හැකියාව පවතී.

ගම්පොළ අටබාගේ පිහිටි මෙම පුහුණු මධ්‍යස්ථානය තුළදී ගොඩබිම, දිය සහ ගුවන යන ක්ෂේත්‍ර තුනම ආවරණය කරගනිමින් පුහුණුව ලබාදෙන අතර ඉදිරියේදී විදේශීයව ලබාදෙන උසස් පුහුණුවීම් මෙම මධ්‍යස්ථානය තුළ දී සිදු කිරීමට අවශ්‍ය පහසුකම් හිමි වන බව ප්‍රධාන අණදෙන නිළධාරී සුසන්ත අමරකෝන් මහතා කීවේය.

කොත්මලේ ජලාශය සහ මහවැලි ගංගාව උපයෝගී කරගනිමින් ජීවිතාරක්ෂක පුහුණුවීම් ලබා දෙන අතර ඇතැම් අවස්ථාවලදී රත්මලාන යුද හමුදා කදවුර සහ තිරියාය පුහුණු කදවුර ද යොදා ගන්නා බව ඒ මහතා පැවසුවේය.

මෙම මධ්‍යස්ථානය ආපදාකළමනාකරණය පිළිබඳව පුහුණුව ලබාදෙන අංගසම්පූර්ණ පාඨමාලාවකින් සමන්විතය.  ආපදා සහිත අවස්ථාවකදී දරු ප්‍රසූතියක් පවා සිදුවන්නේ නම් සාර්ථකව ඊට උපකාර කිරීමේ පුහුණුවක් ද මෙහිදී අප ලබා දෙයි. කඩාවැටුණු විශාල ගොඩනැගිලි තුළ සිරවී සිටින පුද්ගලයන් කෙටි කාලයක් තුළදී ආරක්ෂිතව එළියට ගැනීම මෙන්ම විෂ වායු හා  රසායනික කාන්දු වීම් හමුවේ අදාළ ස්ථාන කරා ආරක්ෂිතව ළඟාවීමට හැකි පුහුණුවක් මේ තුළින් යුධ හමුදා සෙබළුන්ට ලබා දෙයි. ගිනි කඳු පිපිරීම ඇතුළු ආපදා විසිපහක් හමුවේ ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳ පුහුණුවකින් මෙම පාඨමාලාව සමන්විතයි.  

යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතාගේ උපදෙස් පරිදි ඉදිරියේදී විදේශීය යුද හමුදා සෙබළුන් පුහුණු කිරීමේ කටයුතු ද මෙම මධ්‍යස්ථානය තුළින් ආරම්භ කළ හැකි යැයි  සේනා විධායක  කර්නල් සුසුන්ත අමරකෝන් මහතා වැඩිදුරටත් පැවසීය.

නදීක දයා බණ්ඩාර - මහනුවර