19 අහෝසි කරන්න මෛත්‍රීම සැරසෙයි?

19 අහෝසි කරන්න මෛත්‍රීම සැරසෙයි?

19 January 2020 03:39 pm

තමන් වෙත කර තිබෙන ඉල්ලීම් අනුව ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කරයි.

ඔහු මේ බව සඳහන් කරන්නේ හිඟුරක්ගොඩ ප්‍රදේශයේ ජන හමුවක් අමතමිනි.    

මේ අතර ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයෙන් තුනෙන් දෙකකට වැඩි බලයක් ලබාගෙන නව ආණ්ඩුවේ සැලසුම්, සංවර්ධන කාර්යයන් කිරීමට සහය දිය යුතු බවයි හිටපු ජනාධිපතිවරයා  පවසන්නේ. 

තමන් ජනාධිපති වූ සමයේ මෙන් ගෝඨාභය රාජපක්ෂ මහතාට ද පාර්ලිමේන්තුවේ බලයක් නොමැති අතර ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුවේ බලය ලබා දිය යුතු බව හෙතෙම සඳහන් කරයි. 

"ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 2018 පළාත් පාලන මැතිවරණයෙන් රටේම ජන්ද ගත්තේ 17 ලක්ෂයකට වැඩි ගණනක්. ගෝඨාභය රාජපක්ෂ මහතා ජයග්‍රහණය කරන්න ඒ ලක්ෂ 17 පැහැදිලි ලෙසම ශක්තියක් වුණා. ඒ ගැන කිසිම විවාදයක් නැහැ. දැන් අප්‍රේල්වල පාර්ලිමේන්තු මැතිවරණය එනවා. අපි පක්ෂයකට එකතු වෙලා අත්සන් කරලා තියෙන ගිවිසුම අනුව අපි සියලු දෙනාම ඒ මැතිවරණයට එකට තරඟ කරනවා. අද ගෝඨාභය රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවේ බලයක් නැහැ. මම ජනාධිපති වෙච්ච වෙලාවේ මට වෙච්චදේමයි අද එතුමාටත් වෙලා තියෙන්නේ. එදා මහින්ද රාජපක්ෂ මහත්තයට පාර්ලිමේන්තුවේ 142ක් තිබුණා. මම රනිල් වික්‍රමසිංහ මහත්තයාව අගමැති කෙරුවේ  එයාට ආසන 47 තියෙද්දී.

නමුත් පළමු අවුරුද්දේ අගෝස්තුවේ මහ මැතිවරණය එනකම් මහින්ද රාජපක්ෂ මහත්මයා මට සහයෝගය දුන්නා. ඒ නිසා සම්මත කරගත යුතු වූ අණ පනත් රැසක් 2/3 බලයෙන් සම්මත කර ගන්න හැකි වුණා. අද ගෝඨාභය  රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවේ බලයක් නැහැ. ජනාධිපතිට පාර්ලිමේන්තු බලය දෙන්න ඕනේ. පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකකට වැඩි බලයක් අරගෙන දෙන්න ඕනේ."

  ASK