නීතිපතිගේ චෝදනා පත්‍ර දෝෂ සහිතයි. ඇවන්ගාඩ් නඩුවේ විත්තිකරුවන් පහක් නිදහස් කෙරේ !

නීතිපතිගේ චෝදනා පත්‍ර දෝෂ සහිතයි. ඇවන්ගාඩ් නඩුවේ විත්තිකරුවන් පහක් නිදහස් කෙරේ !

17 January 2020 04:11 pm

ගාලු වරාය ආසන්න මුහුදේ පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යමින් නිසි බලපත්‍රයක් නොමැතිව නීතිවිරෝධී ලෙස ගිනිඅවි සහ ජීව උණ්ඩ ළඟ තබාගැනීම සම්බන්ධය නඩුවේ විත්තිකරුව පස් දෙනෙකු කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය විසින් නිදහස් කර තිබේ. 

ඒ, එම නඩුව අද (17) කැඳවූ අවස්ථාවේදීය. 

මෙහිදී ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ජ්‍යේෂ්ඨ සහකාර ලේකම් සුජාතා දමයන්ති ජයරත්න, රක්නා ලංකා සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී මේජර් ජනරාල් කේ.බී. එගොඩවෙල, රක්නා ලංකා සමාගමේ හිටපු සභාපති මේජර් ජනරාල් පාලිත පියසිරි ප්‍රනාන්දු යන අය සහ රක්නා ලංකා සමාගමත් ඇවන්ගාඩ් සමාගමත් අදාළ චෝදනාවලින් නිදහස් කර ඇති බවයි වාර්තා වන්නේ. 

මෙම නඩුවේ විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබුණු අධිචෝදනා 7573ක් අතරින් පවත්වාගෙන යා හැක්කේ චෝදනා 19ක් පමණක් බවත් තුවක්කු ආඥා පනත හා පුපුරණ ද්‍රව්‍ය ආඥා පනත යටතේ චෝදනා එල්ල කළ හැක්කේ ස්වාභාවික පුද්ගලයින්ට පමණක් බැවින් සෙසු සියලුම චෝදනා දෝෂ සහගත සහ නීතිවිරෝධී බවත් විනිසුරු මඬුල්ල එහිදී ප්‍රකාශ කළේය. 

ඒ අනුව සෙසු චෝදනා 19 සම්බන්දයෙන් සලකා බැලීම සඳහා නඩුව පෙබරවාරු 10 වනදා යළි කැඳවීමටයි අධිකරණය නියම කළේ. 

RN