ඇමසන් අංක 1 දේශීය කුරුඳු නිෂ්පාදනය ශ්‍රී ලංකා රේගුවේ සිරවූ හැටි

ඇමසන් අංක 1 දේශීය කුරුඳු නිෂ්පාදනය ශ්‍රී ලංකා රේගුවේ සිරවූ හැටි

14 January 2020 12:14 pm

ගාල්ල තවලම ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ලෝ ප්‍රකට සහ ජාත්‍යන්තර වෙළඳපොළේ අංක 1 කුරුඳු කුඩු නිෂ්පාදනය බවට පත්ව තිබූ ටී ක්වානසුවෙස් සමාගමේ කුරුඳු නිෂ්පාදනයට දැන් ජාත්‍යන්තර වෙළඳපොළ තහනම් වී මාස 5 කි. රේගුවේ නිලධාරීන් ‘පරීක්ෂණ පවත්වන බව‘ කියමින් මේ දේශීය ව්‍යාපාරයට සිදුකරමින් සිටින මූල්‍යමය පාඩුව අද වන විට මිලියන 300 ද ඉක්මවයි. 

'Organic Ceylon Cinnamon Powder' නමැති මෙම නොඉඳුල් කාබනික කුරුඳු කුඩු නිෂ්පාදනය දියෙස්ටා‘ සන්නාමය සමග පුරා වසර 5 ක කාලයක් ඇමසන් වෙබ් අඩවියේ අංක එකේ නිෂ්පාදනය බවට පත්ව තිබිණි. නමුත් දැන් මේ ගෞරවය ශ්‍රී ලංකාවට අහිමි ය. මේ සඳහා සහමුලින්ම වගකිව යුත්තේ ශ්‍රී ලංකා රේගුවේ අත්තනෝමතික ක්‍රියා කලාපය සහ, ලේබලයක් කියවීමට නොදන්නා නිලධාරී බව පෙනේ.

2019 අගෝස්තු 7 වැනිදා, මෙම සමාගම විසින් ඇමරිකා එක්සත් ජනපදයේ චිකාගෝ නුවර වෙත යැවීමට සූදානම් කර තිබූ කුරුඳු බෑග් 20,000 ක් අඩංගු භාණ්ඩ තොගය (shipment) කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ රේගුව විසින් රඳවා ගත්තේ කිසිදු හේතු දැනුම් දීමකින් තොරව ය. සති කිහිපයක් ගත වන තෙක්ම මේ පිළිබඳ නිල වශයෙන් කරුණු පැහැදිලි කිරීමක් හෝ කරුණු විමසීමක් සිදු නොකිරිණි. සමාගම විසින් කරන ලද නිල නොවන සොයාබැලීම්වලදී හෙළි වූයේ මේ නීතිවිරෝධී රඳවා ගැනීමට හේතුව, රේගුව විසින් සිදුකළ අමුතු සොයාගැනීමක් බවයි.

ඒ අමුතු සොයාගැනීම, ලේබලයේ සඳහන් වැකියක එක් වචනයකි. 

කෙසේ නමුත් මේ වචනය සඳහන් වැකිය ඇතුළත් ලේබලය චීනයේ මුද්‍රණය කර ලංකාවට ගෙන එනු ලබන්නකි. මෙය 2015 වසරේ පටන් ලංකාවට ගෙන එන්නේ ද ලේබලය අජීර්ණ වූ එම රේගුව හරහා ම ය. එපමණක් නොව, දැන් වසර 4 ක් තිස්සේ මේ ලේබලයම සහිතව මෙම කුරුඳු නිෂ්පාදනය අපනයනය කෙරුණේ ද මේ රේගුව හරහාම ය.  

රේගු පරීක්ෂණය

ඒ වන විටත්, ඇමරිකානු ඩොලර් 23,000 ක් වටිනා කුරුඳු බෑග් 2000 වෙනුවෙන් භාණ්ඩ පැටවීමේ කුලිය (freight) වශයෙන් රුපියල් 477,292.50 ක් ගෙවා තිබියදී, රේගුව විසින් සිදුකරන මේ අසාමාන්‍ය හැසිරීම හමුවේ, ඒ වන විට ඇමරිකාව බලාගොස් සිටි මෙම සමාගමේ හිමිකරු එහි සිට රේගුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ව දුරකථනයෙන් ඇමතීමට උත්සාහ කරයි. එහිදී සමාගමට දුරකථනයෙන් පැවසෙන්නේ අනුමත කිරීම්භාර අධ්‍යක්ෂ රන්දෙණිය මහතා හමුවන ලෙස ය. 

අවස්ථා ගණනාවකදී ඔහුව සම්බන්ධ කරගැනීමට සමාගම ගත් උත්සාහයන් ව්‍යාර්ථ වන තැන සමාගම පොලිසියේ පැමිණිල්ලක් ගොනු කරයි. එම පැමිණිල්ල මුල් අවස්ථාවේදී සටහන් කර ගැනීම නෙළුව පොලිසිය විසින් ප්‍රතික්ෂේප කරන අතර, කටුනායක පොලිසිය පැමිණිල්ල භාර ගනියි. ඔවුන් පැමිණිල්ල විභාගයට ගෙන සමාගමට දැනුම් දෙන්නේ, රේගු පනතේ ප්‍රතිපාදනවලට මැදිහත් වීමේ බලයක් පොලිසියට නොමැති හෙයින් පැමිණිල්ල අවසන් කරන බව ය. 

කෙසේ නමුත් මේ පැමිණිල්ල විභාගයට ගන්නා අවස්ථාවේදී රේගුව විසින් අපූරු දෙයක් කරයි. ඔවුන් පොලිසියට කියන්නේ වෙනම කතාවකි. එනම්, මෙය විභාග කිරීමට පැමිණෙන ලෙස තමන් අවස්ථා ගණනාවකදී සමාගමට දැනුම් දුන් නමුත් සමාගම නොපැමිණි බව ය! මේ චෝදනාව ඉදිරිපත් කරන අගෝස්තු 16 වැනිදාම, රේගුව විසින් ඉතාම හාස්‍යජනක ආකාරයට ‘‘අද දින රේගුවේ පැවැත්වෙන පරීක්ෂණයට පැමිණෙන්න‘යි සමාගමට දන්වා යවයි. 

මෙම කුරුඳු නිෂ්පාදනය සිදුකරන හිනිඳුම හබරකඩ ගම්මානය පිහිටා තිබෙන්නේ කොළඹ සිට සැතපුම් 115 ක් ඈතින් බව ශ්‍රී ලංකා රේගුව දන්නේ නැතිද? මේ නිසා ඔවුන් හමුවීමට වෙනත් වේලාවක් ඉල්ලා එදිනම සමාගමේ ප්‍රධානීන් විසින් රේගුවට ඊ මේල් පණිවුඩයක් යවා තිබේ. එයට අද දක්වා ද පිළිතුරු ලැබී නැත. ‍

අවසානයේ ආයතනයේ නියෝජිතයෙක් කොළඹ ප්‍රධාන රේගු කාර්යාලය වෙත ගොස් රන්දෙණිය සහ ජගත් යන ජ්‍යේෂ්ඨ රේගු නිලධාරීන් හමුවන්නේ 2019 සැප්තැම්බර් 24 වැනිදා ය. එහිදී සිදුව තිබෙන්නේ කිසිදු සුහදශීලී සාකච්ඡාවක් නොවන බව ද රේගු පරීක්ෂණයට සහභාගි වූ ආයතනයේ නියෝජිතයා අප සමග පැවසීය. 

ඉන්පසු මෙම සමාගමට දැනුම් දීමක් ලැබේ. ඒ, රේගු පරිශ්‍රයට පැමිණ ලේබලයෙන් කොටසක් ආවරණය කිරීමට කැමැත්ත පළ කරමින් ලිපියක් ලබාදෙන ලෙස ය. 2019 ඔක්තෝබර් 4 වැනිදා සමාගමේ අධ්‍යක්ෂවරියක විසින් එම ලිපිය ලබාදීමෙන් පසුව, කුරුඳු කුඩු තොගය ප්‍රවාහනය සඳහා මුදා හරින බව පැවසුණි. එම ලිපියට ද අද දක්වා ප්‍රතිචාරයක් නොමැත.

මාස 5 ක් තිස්සේ කම්හල වහලා

අවසානයේ ඩොලර් 540 කට අධික දෛනික ආදායමක් සහිත මේ ව්‍යාපාරය සමාගම විසින් 2019.08.07 දින වසා දමන්නේ ‘ලංකාවේ රේගුවේ හා ක්‍රියාවලියේ තත්වය මෙසේ නම් තවදුරටත් මේ ව්‍යාපාරය පවත්වාගෙන යාමට නොහැකි හෙයින් අද සිට වසා දමන බව උතුම් ශ්‍රී ලංකා රජයටත්, සම්බන්ධ රාජ්‍ය දෙපාර්තමේන්තුවලටත්, අපගේ කාර්ය මණ්ඩලයටත් කුරුඳු සැපයු ගොවි පවුල්වලටත් සියල්ලන්ටමත් මෙයින් කණගාටුවෙන් දන්වමු‘ යනුවෙන් ප්‍රසිද්ධ පුවත්පත් දැන්වීමක් ද පළ කරමිනි. 

එම දැන්වීමේ අවසාන ඡේද දෙක මෙසේ ය. 

‘‘..එමෙන්ම අප ටී ක්නානසුවෙස් ඩිලයිට් ආයතනය වරදක් හෝ නීති විරෝධී යමක් කර ඇත්නම් ඕනෑම ආයතනයකට, විශේෂයෙන්ම නීතිමය කටයුතු කරන ලෙස රේගුවට දන්වමු.
මෙවන් ග්‍රාමීය අපනය ව්‍යාපාරවල ඉරණම මෙයයි.‘‘

මේ වන විට මේ කර්මාන්තය ආශ්‍රිතව ජීවිකාව කර ගත් සිය ගණනකගේ රැකියා මේ සිදුවීම හේතුවෙන් අහිමි වී තිබේ.

රේගුවට අජීර්ණ වූ කුරුඳු බෑග් ලේබලයේ තිබුණේ කුමක්ද?

ශ්‍රී ලංකා රේගුව හදිසියේ සොයාගත්, වසර 4 ක් තිස්සේ ඔවුන්ට නොපෙනුණු කුරුඳු ලේබලයේ තිබෙන මතභේදාත්මක යැයි කියන ඡේදය පහත දැක්වේ.

‘‘We donate USD 0.25 from each bag of cinnamon we sell to the Stateless Peoples Foundation run by Diyesta group.

In Sri Lanka, most of the labor workforce consists of Indian Tamils who came to Sri Lanka during the days of British rule. Most of them still lack of Sri Lankan citizenship, which prohibits them from enjoying free education, free medicine and other benefits that full citizens enjoy. For this reason, we have started a project to empower the children of our working communities by providing them with the best education we can. We believe that empowering of a child is like empowering a generation. Today you become a part of our small exercise to bring a bright future to the children of this beautiful island. We thank you for that!‘‘

එය පහත පරිදි සිංහල බසට පරිවර්තනය කළ හැක.

‘‘එක් කුරුඳු බෑගයකින් ඩොලර් ශත 25 බැගින් අපි, දියෙස්ටා සමූහ ව්‍යාපාරය විසින් පවත්වාගෙන යනු ලබන නිජබිම් අහිමි ජනතාවගේ පදනම වෙත ප්‍රදානය කරන්නෙමු. 

ශ්‍රී ලංකාවේ ශ්‍රම බලකායෙන් බහුතරයක් සමන්විත වන්නේ බ්‍රිතාන්‍ය පාලන සමයේ ලංකාවට පැමිණි ඉන්දියානු දමිලයයන්ගෙනි. ඔවුන්ගෙන් බහුතරයට, ලංකාවේ පුරවැසියන්ට හිමි නිදහස් අධ්‍යාපනය, නොමිලේ සෞඛ්‍ය සේවා සහ සෙසු ප්‍රතිලාභ රැසක් තහනම් කරමින්, ශ්‍රී ලංකා පුරවැසිභාවය අහිමි වී ඇත. මේ හේතුව නිසා අපට හැකි හොඳම අධ්‍යාපනය ලබාදෙමින් අපගේ ශ්‍රමික ප්‍රජාවේ දරුවන් සවිබල ගැන්වීමේ ව්‍යාපෘතියක් අප විසින් ආරම්භ කර තිබේ. අප විශ්වාස කරන්නේ දරුවෙකු සවිබල ගැන්වීම පරපුරක් සවිබල ගැන්වීමට සමාන බවයි. මේ සුන්දර දිවයිනේ දරුවන්ට දීප්තිමත් අනාගතයක් ලබාදීම සඳහා වන අපගේ කුඩා පරිශ්‍රමයට අද දින ඔබද කොටස්කරුවෙකු විය. ඒ වෙනුවෙන් අපි ඔබට ස්තූතිවන්ත වන්නෙමු!“  

රේගුවේ ඉල්ලීම පරිදි සමාගම එකඟ වන්නේ ඉන්දියානු දමිලයන් පිළිබඳ කොටස ලේබලයේ වසා දැමීමට ය. පොලිස් විමර්ශනයෙන් පැහැදිලි වන ආකාරයට ‘නිජබිම් අහිමි දෙමළ ජනතාව‘ ගැන රේගුවේ අවධානය යොමු වී තිබේ. තවද තමන් රේගු පනත ප්‍රකාරව කටයුතු කර ඇති බව රේගුව පවසයි. නමුත් අප අසන්නේ, මෙසේ අත්තනෝමතික ආකාරයෙන්, මාස 5 ක් ගත වන තෙක් විධිමත් පරීක්ෂණයක් නොකර සහ අදාළ පාර්ශවයට කිසිදු ලිඛිත දැනුම් දීමක් හෝ විධිමත් හේතු දැක්වීමක් නොකර භාණ්ඩ රඳවා ගැනීමට රේගු පනත ප්‍රකාරව ඔවුන්ට බලතල තිබෙන්නේ ද යන්නයි. 

ෆේස්බුක් ගේමක්

මේ අතර, 'දිනියස් ක්ලබ්' සහ 'අමුතු මාකටිං' වැනි ෆේස්බුක් ගෘෘප්ස්වලට ‘මෙන්න ඉමේජ් එකක් කම්පැනි නේම් එක්කම තියෙනවා‘ යනාදී වශයෙන් මේ ප්‍රශ්නගත ලේබලය ෆේස්බුක් වෙත මුදා හරින්නේ ද ශ්‍රී ලංකා රේගුවේ සහකාර සුපිරින්ටෙන්ඩන්ට්වරයෙකු විසින්ම වීම ඛේදජනක ය. රේගුව භාරයේ පවතින භාණ්ඩයක ලේබල් ෆොටෝ ගසා මෙසේ පොදු අවකාශයට මුදා හැරීම සහ රංජන් රාමනායකගේ හඬපට පොලිසිය විසින්ම මාධ්‍යයට මුදා හැරීම තරමටම නින්දිත සහ නීති විරෝධී ක්‍රියාවක් වේ.

 

මෙසේ සමාජ ජාල තුළට මුදා හැරීමෙන් නොනැවතී මෙම රේගු නිලධාරියා විසින් දිගින් දිගටම කමෙන්ට් කරමින් ත්‍රෙඩ් එකක් නිර්මාණය කරන්නේ ලංකාවේ රේගු මාෆියාවට පතුලක් නොදන්නා ෆේස්බුක් වීරයන්ගේ හයිය ද එක් කරමිනි.

රේගුවේ රඳවා ගෙන සිටින කුරුඳු තොගය පිළිබඳ සමාජ ජාලවලට තොරතුරු ලබාදී තිබෙන මෙම පුද්ගලයා රේගුවේම සහකාර සුපිරින්ටෙන්ඩන්ට්වරයෙකු බව ඔහුගේ ෆේස්බුක් ප්‍රොෆයිලයේ දැක්වේ

වගීෂ තිනෙත් නමැති මෙම රේගු නිලධාරියාගේ අවකල් සමාජජාල හැසිරීම මගින් සිය ව්‍යාපාරයට සිදුවූ හානිය, සමාගම් හිමිකරු ආනන්ද මහතා විස්තර කරන්නේ මේ ආකාරයට ය. 

‘‘අපේ මේ සමගම නොඉඳුල් කාබනික සුදු ගිරි තේ සහ කුරුඳු නටුවෙන් සදන ලොව එකම නොඉඳුල් කාබනික කුරුඳු ගිරි තේ ද නිෂ්පාදනය කර අපනයනය කරමින් සිටියා. නමුත් මේ ව්‍යාපාර සියල්ලම වගීෂ නමැති නිලධාරියගේ ෆේස්බුක් තර්ජන නිසා සම්පූර්ණයෙන් නතර කරන්න සිද්ධ වුණා...‘‘

‘‘මේ කුරුදු කුඩු ව්‍යාපාරය මම මගේ ගෙදර කුස්සියෙ ග්‍රයින්ඩරෙන් පටන් ගත්තෙ 2008 අවුරුද්දේ වගේ. අපේ ඇමරිකානු වෙළඳ සගයා අපව 2014 වසරේ පටන් ඇමසන් සමාගම සමග සම්බන්ධ කළා. 2019/8/7 දින ව්‍යාපාරය නතර කරන තෙක්ම ඇමසන් හි කීර්තිමත්ම කුරුඳු සන්නාමය වුණේ මෙයයි. අපි මේ ද්‍රව්‍යයන් හැදුවේ යැව්වේ පූජා භාණ්ඩ වගේ භක්තියකින්..‘‘

රේගුව විසින් මේ පිළිබඳ පරීක්ෂණයක් පවත්වන බව තමන් දැනගත්තේ ලංකාදීප පුවත්පතේ පළවූ ප්‍රවෘත්තියකින් බව ද ආනන්ද මහතා තවදුරටත් පවසයි. 

ලංකාදීප පුවත්පත මෙය වාර්තා කර තිබුණේ මේ අන්දමිනි.

බිංදුවෙන් පටන් ගෙන ලොව දිනූ දේශීය ව්‍යාපාරිකයෙකු වසර 11කට පසුව මෙසේ වට්ටා දමන්නට උත්සාහ කිරීමේ චෝදනාව මේ අනුව ශ්‍රී ලංකා රේගුව වෙත එල්ල වීම වැළැක්විය නොහැකි ය. ඔවුන් විසින් සෘජුව හෝ වක්‍ර ලෙස සමාජ ජාල තුළ ජනනය කළ ක්‍රෝධය සහ වෛරයේ තරම, කිසිවක් සොයා නොබලා කමෙන්ට් කරන සමාජ ජාල පරිශීලකයන්ගේ හැසිරීමෙන් මනාව වටහාගත හැකිය. එහි එක් කමෙන්ටුවක මෙසේ දැක්වේ. 

‘‘මුංව තහනම් කරල මදි. සක්කිළි‘!

සක්කිළි කවුද?

අප විසින් කරන ලද සොයාබැලීම්වලදී පැහැදිලි වූයේ දියෙස්ටා සමූහ ව්‍යාපාරය විසින් පසුගිය වසර 3 පුරාම, පහත රට කුරුඳු වතුවල ශ්‍රමිකයන් වන නිජබිම් අහිමි, එනම් පුරවැසිභාවය අහිමි දමිල ජනතාව වෙනුවෙන් විශාල මෙහෙයක් ඉටු කර ඇති බවයි. ඒ අතරින් ඔවුන්ගේ දරුවන්ට අධ්‍යාපනය ලබාදීම ප්‍රධාන ය. හැඳුනුම්පතක් අහිමි දෙමාපියන්ගේ දරුවන් මෙරට පාසල්වල ට ඇතුළත් කර ගැනීම පහසු නැත. එනිසා මේ සමාගම ‘ලොරි බොඩි ස්කූල්‘ (“Lorry Body School”) යනුවෙන් ලොරි රථවල ජංගම පාසල් සේවයක් පවත්වාගෙන යන්නේ, පුද්ගලික සමාගමකට අවශ්‍ය නම් සමාජ සුබසාධනයට කොතරම් බර තැබිය හැකිද යන්න පසක් කරමිනි. මෙම ලොරි බොඩි පාසලක ඡායාරූපයක් ද ඔවුන් විසින් මෙම ලේබලයේ අන්තර්ගත කර ඇත. එම පාසල ශ්‍රී ලංකා අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ විධිමත් ලියාපදිංචියක් යටතේ පවත්වාගෙන යන නොවිධිමත් අධ්‍යාපන ආයතනයකි. මෙම ලොරි බොඩි පාසල්වල ක්ෂේත්‍ර චාරිකාවක නියැළුණු යෙදුණු අධ්‍යාපන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර තිබෙන්නේ දරුවන්ගේ අධ්‍යාපනය මේ නිසා සුවිශේෂී අන්දමින් දියුණු වී ඇති බවයි. මෙහි ප්‍රතිඵලයක් ලෙසට වරක් මෙහි අධ්‍යාපනය ලැබූ දරුවන්ගෙන් 5%ක් ගා/මාවනාන කණිෂ්ඨ විද්‍යාලයට ද, ඉතිරි 95% හිනිදුම ශාන්ත ආනා විද්‍යාලයට ඇතුළත් කරන්නේ, දියෙස්ටා විසින් කරන ලද සමාජ සේවයේ අරමුණ මුදුන්පත් කරමිනි. මෙම පාසල්වලට ඇතුළත් වූ පසු දරුවන්ගේ සියලු වියහියදම් ලබා දුන්නේ ද කුරුඳු කර්මාන්තයෙන් ලබන ආදායම තුළිනි. සෑම කුරුඳු බෑගයකින්ම ඩොලර් සත 25 ක් තමන් වෙන් කරන බව ඔවුන් පවසන්නේ මේ පසුබිම තුළ ය.

මේ අතර ඔවුන්ට පෙනී ගියේ සම්ප්‍රදායික පාසල් පද්ධතියේ සාමාජිකයන් අතරින් මේ දරුවන් විවිධ වෙනස්කම්වලට ලක් වන බවයි. මෙම ආතතිය අවම කිරීම සඳහා දියෙස්ටා ගෘෘප් විසින්ම වරක් පාසල් උපකරණ මිලදී ගැනීම සඳහා මෙම දරුවන් වෙනුවෙන් රුපියල් ලක්ෂයක් වටිනා පාසල් උපකරණ ද පාසලට ප්‍රදානය කරයි. 

තවද විශේෂයෙන් කිව යුත්තක් තිබේ. ‘නිජබිම් අහිමි දමිල ජනතාව‘ ලංකාවේ ජීවත් වන බව ලොවම පිළිගත් සත්‍යයකි. ඔවුන්ගේ අයිතිවාසිකම් කඩවන ආකාරය ගැන ලියැවුණු පර්යේෂණ පත්‍රිකා දහස් ගණනක් තිබේ. මේ පිළිබඳව ප්‍රධාන පෙළේ දේශපාලඥයන් විසින් මෙන්ම විශ්ව විද්‍යාල කථිකාචාර්යවරුන් ද නොකඩවා සංවාද කරති. එනිසා රේගුව විසින් මෙමගින් ‘ශ්‍රී ලංකාවට අපකීර්තියක් වේ‘ යැයි උපකල්පනයක සිට අති දක්ෂ ග්‍රාමීය අපනයනකරුවෙකුගේ විභවයන් සිඳබිඳ දැමීමට ක්‍රියාකිරීම, එක් අතකින් මනුෂ්‍යත්වයට එරෙහිව කරන අපරාධයක් ද වේ. එනිසා සැබෑ ‘සක්කිළි‘ වන්නේ, මේ පුරවැසිභාවය අහිමි දමිල ජනතාව නොව, ඔවුන්ට තවදුරටත් කෙණහිලිකම් කරන සහ එවන් නිජබිම් අහිමි ජනතාවක් නිර්මාණය කිරීමට සහ එය පවත්වාගෙන යාමට උර දෙන්නන් වේ. 

රානි රාමර්ගේ කතාව

2015 වසරේදී රානි රාමර් නමැති, මෙම දියෙස්ටා සමූහ ව්‍යාපාරයට අයත් කුරුඳු කර්මාන්තශාලාවේ සේවය කරන දමිල කාන්තාවක් ගර්භණී වූවාය. ඒ ඇගේ සිව්වැනි දරුවා ය. නමුත් ගර්භනී භාවයේ 5 වැනි මාසයේදී හිනිදුම රෝහල, නෙළුව රෝහල මෙන්ම හබරකඩ නැගෙනහිර වින්නඹු සේවිකාව විසින්ද ඇයට සායනික සේවාවන් ලබාදීම ප්‍රතික්ෂේප කෙරුණේය. එයට හේතු වී තිබුණේ ඇය සතුව ජාතික හැඳුනුම්පතක් නොමැති වීමයි. අවසානයේ ඇයට අත්‍යාවශ්‍ය ඖෂධ සහ සෞඛ්‍ය සේවාවන් ලබාදීමට මැදිහත් වන්නේ කුරුඳු කම්හල් හිමියා වන ආනන්ද මහතා ය. ඔහු සිය පුද්ගලික වෛද්‍යවරයා හරහා හිනිදුම රෝහල අමතා ඇයට පිහිට වෙයි. ගාල්ල මහමෝදර රෝහලේදී ඇය දරු උපත සිදු කළ අතර, ඒ දරුවා සහ ඉන්පසුව ඉපදුණු දරුවාගේ සියලු විය හියදම් අද වන විටත් දරන්නේ ආනන්ද මහතා විසිනි. 

නිජ බිම් අහිමි පහතරට දමිලයෝ

බ්‍රිතාන්‍ය යටත් විජිත සමයේ උඩරට තේ වතුවල වැඩකිරීම සඳහා ඉන්දියාවෙන් ගෙන එන ලද දමිල ජනයාගෙන් බොහෝ දෙනෙකුට මේ වන විට හැඳුනුම්පත් ලබා දී ඇතත්, පුරවැසිභාවය සහ නිජබිමක් නොමැති කම දැන් පවා ලංකාවේ උඩරට දමිල ජනතාව අතර පවතින විශාල ගැටළුවකි. නමුත් පහතරට වතු කම්කරු ප්‍රජාව තුළ මේ ප්‍රශ්නය මීට වඩා දෙතුන් ගුණයක් දරුණු තත්වයේ පවතියි. ඉහත කී ලොරි බොඩි පාසල් සහ රානි අම්මාගේ කතාවෙන් හෙළිදරව් වන සත්‍යය එයයි. 

දකුණු කරයේ දමිල වතු ප්‍රජාව සම්බන්ධයෙන් පවතින හිංසාකාරී පිළිවෙතක් ගැන ද මේ අතර වාර්තා වේ. 2014 වසරේ මුල භාගයේ ප්‍රාදේශීය දේශපාලකයන්ගේ ද උසිගැන්වීම මත මෙම ප්‍රජාවට සිංහල ප්‍රජාවගෙන් විශාල බලපෑමක් එල්ල වී තිබේ. මේ සිදුවීම අසත්‍යයක් යැයි ඔබ සිතන්නේ නම්, මේ සමගම ඔබ දැනගත යුතු කාරණාව, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව, එම්.පී. යෝගරාජන් මහතාගෙන් යුක්ත කණ්ඩායමක් හරහා මෙම ආයතනයේ මැදිහත්වීමෙන් මේ පිළිබඳ විමර්ශනයක් ද පවත්වා ඇති බව ය. මේ පිළිබඳව පුවත් ද මාධ්‍ය හරහා විකාශය වී තිබේ. 

නිජබිම් අහිමි, පුරවැසිභාවය අහිමි, හැඳුනුම්පත් අහිමි, පොදු සේවාවන්ට ප්‍රවේශය අහිමි ලංකාවේ පහත රට වතු දෙමළ ජනතාව ගැන ඔබ මෙතෙක් අසා නැතිනම්, ඔබ කළ යුත්තේ තවලම, ඕපාත, දංගල, නෙළුව යනාදී ප්‍රදේශවල ඇති සති පොළකට යාම පමණි. එවිට මුළු මහත් රටක් විසින් සිතා මතා අමතක කළ ප්‍රජාවකගේ සෝ සුසුම් ඔබට ද දැනෙනු ඇත. ලංකාව තුළ මිනිස් ජාවාරම ඉතා නින්දිත අන්දමින් සිදුවන අංශයක් බවට මෙම පහතරට දමිල වතු කම්කරු ජනතාව සාක්ෂි දෙනු ඇත. මෙම ආයතනයේ හිමිකරු ආනන්ද මහතා විසින්ම කිහිප අවස්ථාවකදී ණය බරෙන් පීඩිත වී වෙනත් වතුවලට විකුණා දමන්නට ගිය කිහිප දෙනෙකු නිදහස් කරගෙන තිබෙන අතර ඔහු සතුව ඒවායේ කුවිතාන්සි පවා තිබේ. 

දැන්, ගුවන් තොටුපොළ රේගුව විසින් මේ අන්දමින් අත්තනෝමතික ලෙස මේ කුරුඳු තොගය රඳවා ගැනීම නිසා සිදුවී ඇති අහිමිවීම් අතර, මේ ප්‍රජාවට සිය ස්වාමියාගේ සද්භාවය නිසා හිමිවූ සමාජ සුබසාධන ප්‍රතිලාභ ද වේ. එනිසා සැබෑ සක්කිළි කවුදැයි අප අපෙන්ම ඇසිය යුතුය. රටට ලැජ්ජාවක් වන්නේ ඉතාම මධ්‍යස්ථ සහ ශිෂ්ට සම්පන්න භාෂාවකින් කුරුඳු බෑග් ලේබලයේ මේ මිනිසුන්ගේ පැවැත්ම ගැන ලියා තිබීමද, නැතිනම් මෙවැනි මිනිසුන් සිටින රටක් අප විසින් නිර්මාණය කර තිබීම දැයි අප අපෙන්ම අසා ගත යුතුය. සැබෑ ලැජ්ජාවට කාරණය වන්නේ දෙවැන්නයි. 

හිතුමතේ ජීවිත ගත කරන රාජ්‍ය ආයතන

පසුගියදා මාධ්‍ය හරහා ප්‍රචාරය වූයේ ඇණවුම් කළ මෝටර් රථයක් අදාළ මුදල් ද ගෙවීමෙන් පසුව රේගුව විසින් නිදහස් නොකර දීර්ඝ කාලයක් තිස්සේ රඳවා තබාගෙන පසුව තෙවන පාර්ශවයකට නීති විරෝධී ලෙස විකුණා ඇති ආකාරයයි. තවත් රාජ්‍ය ආයතනයක් වූ ලංකා බැංකුවට පසුගියදා ඩොලර් ලක්ෂ 7 ක් කැනේඩියානු පුරවැසිභාවය සහිත දමිල ජාතිකයෙකු හට ගෙවීමට සිදුවූයේ ඔහුගේ ගිණුම්වල මුදල්, වංචනික ලෙස වෙනත් ගිණුමකට මාරු කර ඇති බව කොළඹ දිසා අධිකරණයේදී හෙළි වූ නිසා ය. මේ අන්දමින් රාජ්‍ය ආයතන විසින් අවසානයේ මේ කෙළසා දමන්නේ ශ්‍රී ලංකාවේ ගෞරවයයි. මේ සිදුවීමේදී නම්, ශ්‍රී ලාංකික අනන්‍යතාවය සහිතව ලෝකයේ අංක 1 බවට පත්වූ ග්‍රාමීය අපනයන භෝගයක වෙළඳපොළ සහ ශ්‍රී ලාංකේය කුරුඳු සඳහා හිමිව තිබූ කීර්තිමත්භාවයයි. ටී ක්වානසුවේස් ව්‍යාපාරය නවතා දැමීමට සිදුවීමත් සමගම, ශ්‍රී ලංකාවට ඩොලර් ගෙනෙනවා වෙනුවට වෙනත් රටක සිට නිෂ්පාදනය කරන, එහෙත් ‘ශ්‍රී ලාංකේය කුරුඳු‘ බව හැඟවෙන නමක් සහිත වෙනත් බාල-ලාබ නිෂ්පාදනයන් මෙම වෙළඳපොළ ආක්‍රමණය කරමින් සිටින බවට ද ලංකා නිව්ස් වෙබ් වෙත විශ්වාසනීය තොරතුරු ලැබී තිබේ. 

ඊ කොමර්ස් නිෂ්පාදනයක් වන අප ප්‍රස්තූත සමාගමේ කුරුඳු නිපැයුමෙහි ඇමරිකාව තුළ පැවති තොග, රේගුවේ අත්තනෝමතික හැසිරීම හේතුවෙන් මේ වන විට ශුන්‍ය වී තිබේ. ඒ නිසා, ඊ කොමර්ස් නිපැයුමක් (e-Commerce product) ලෙස හිමි වී තිබූ අංක 1 තත්වය දක්වා නැවත ශ්‍රේණිගත මෙම කුරුඳු නිෂ්පාදනය ශ්‍රේණිගත කිරීම සඳහා මතු දිනෙක මේ සමාගමට තවත් ඩොලර් දහස් ගණනක් වැය වනු ඇත. රටට කීර්තියක් ගෙන දුන් දේශීය ව්‍යවසායකයන් මෙසේ විනාශ කරන්නට තැත් කරන ශ්‍රී ලංකා රේගුවෙන් අප අසන්නේ එකම එක ප්‍රශ්නයකි. ‘‘මේ සියලු අලාභහානිවලට වග කියන්නට රේගුව සූදානම් ද?‘‘

පසු සටහන - මේ සිදුවීම පිළිබඳ ශ්‍රී ලංකා රේගුවේ ස්ථාවරය දැනගැනීම පිණිස ලංකා නිව්ස් වෙබ් විසින් ජනවාරි 16 වැනිදා රේගු බලධාරීන් හමුවනු ඇත. යාවත්කාලීන තත්වය පිළිබඳ ලිපිය  ජනවාරි 17 වැනිදා බලාපොරොත්තු වන්න.

- සුලෝචනී ගුණරත්න