නවසීලන්ත ගිනි කන්ද පිපිරීමෙන් මිය ගිය ගණන ඉහළට - තවත් දෙදෙනෙක් අතුරුදහන්

නවසීලන්ත ගිනි කන්ද පිපිරීමෙන් මිය ගිය ගණන ඉහළට - තවත් දෙදෙනෙක් අතුරුදහන්

15 December 2019 04:13 pm

නවසීලන්තයේ වයිට් අයිලන්ඩ් ගිනිකන්ද පුපුරා යාමෙන් මිය ගොස් ඇති ගණන 16 දක්වා වැඩි වී ඇති අතර තවත් පුද්ගලයන් දෙදෙනෙකු අතුරුදහන් බව විදෙස් වාර්තා සඳහන් කරයි. 

එම  විපතෙන් බරපතල ලෙස තුවාල ලබා සිටි ඕස්ට්‍රේලියානු ජාතිකයෙකු එරට රෝහල් ගතව ප්‍රතිකාර ගනිමින් සිටියදී මිය ගොස් තිබේ.   

තවත් පුද්ගලයන් 20දෙනෙකු පමණ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ගනිමින් සිටින බව වාර්තා වෙයි. 

අතුරුදහන් පුද්ගලයන් දෙදෙනා සෙවීමේ මෙහෙයුමද යළි ආරම්භ කර තිබේ. 

පොලීසිය සහ හමුදා කිමිදුම්කරුවන් වයිට් අයිලන්ඩ් දූපත වටා ජලයෙහි සෙවීමේ කටයුතු නිරන්තරයෙන් සිදුකරන අතර ඊයේ දිනයේදී ජලය තුළ මළ සිරුරක් දෘශ්‍යමාන වුවද එය නොපෙනී යාම නිසා සොයා ගැනීමට නොහැකි වී ඇත. 

පසුගිය සඳුදා දින මෙම ගිනිකන්ද පුපුරා ගොස් තිබූ අතර මෙම ඛේදවාචකයට ගොදුරු වී තිබුණේ එම දූපත නැරඹීමට ගිය සංචාරකයන් කණ්ඩායමක්. 

එම පිපිරීමෙන් පසු යළි පසු පිපිරීම් සිදු නොවුණත් යළි පිපිරීමේ අවධානමක් පවතින බව ගිනිකඳු විද්‍යාඥ ජෙෆ් කිල්ගෝර් ප්‍රකාශ කර තිබේ. 

පුපුරා යාම සිදුවන විට වයිට් අයිලන්ඩ් හි නවසීලන්ත ජාතික සංචාරක මගපෙන්වන්නා සමඟ සංචාරකයන් 47 දෙනෙකු ඉඳ තිබේ. ඉන් 24 දෙනෙකු ඕස්ට්‍රේලියානු ජාතිකයන් වන අතර 09 දෙනෙකු ඇමරිකානුවන් බව සඳහන්. 

නවසීලන්ත ජාතිකයන 05 දෙනෙකු මෙම ඛේදවාචකයේ ගොදුරු බවට පත්ව ඇති අතර ජර්මන් ජාතිකයන් 04 දෙනෙකු සිට ඇත. 

තවද චීන ජාතිකයා දෙදෙනෙකු,බ්‍රිතන්‍ය ජාතිකයන් දෙදෙනෙකු සහ එක් මැලේසියානු ජාතිකයෙක් සිට ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.