එජාපයේ චෝදනා ප්‍රතික්ෂේප කරනවා - ජෝන් සෙනෙවිරත්න

එජාපයේ චෝදනා ප්‍රතික්ෂේප කරනවා - ජෝන් සෙනෙවිරත්න

13 December 2019 10:25 pm

වත්මන් රජයේ රාජ්‍ය අමාත්‍යවරුන් කිසිදු වගකීමක් නොදරමින් වරප්‍රසාද භුක්ති විඳින බවට නැගෙන චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බව ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න මහතා පවසයි. මෙය රාජ්‍ය  අමාත්‍ය තනතුර පිලිබඳ අවබෝධයක් නොමැතිව කරන ලද ප්‍රකාශයක් බවයි ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න මහතා අමාත්‍යාංශයේ අද (13) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් සඳහන් කළේ.

රාජ්‍ය  අමාත්‍යවරුන් කිසිදු වගකීමක් නොදරමින් වරප්‍රසාද පමණක් භුක්ති විඳින බවට එ.ජා.ප. පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා විසින් කරන ලද චෝදනාවකට පිළිතුරු ලබා දෙමින් රාජ්‍ය අමාත්‍ය  ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න මහතා මේ බව පැවසීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ රාජ්‍ය අමාත්‍යවරයා,

'එජාපයේ මුජිබර් රහුමාන් මන්ත්‍රීතුමා කියලා තියනවා රාජ්‍ය අමාත්‍යවරුන් තිස්අට දෙනා කිසිම වගකීමක් දරන්නේ නැහැ කියලා. මේක පදනමක් නැති කතාවක්. රාජ්‍ය අමාත්‍යවරුන්ට අදාල වගකීම් සහ බලතල පවරන්නේ විෂයභාර කැබිනට් අමාත්‍යතුමා විසින්. යහපාලන රජය යටතේ  මම කෙටි කාලයක් කම්කරු අමාත්‍යවරයා ලෙස කටයුතු කළා. ඒ අවස්ථාවේ රජ්‍ය අමාත්‍යවරුන්ට වගකීම් ලබා දීමට අප කටයුතු කලේ එලෙසයි. යහපාලන ආණ්ඩුවේ රාජ්‍ය අමාත්‍යවරුන්ට බලතල පැවරුවේ ටික දවසක් ගිහින්. ලබන සතියේ මේ රාජ්‍ය අමාත්‍යවරුන්ට විෂයන් සහ වගකීම් අදාල අමාත්‍යාංශ මගින් ගැසට් කරනවා.'

යහපාලන රජයේ රාජ්‍ය අමාත්‍යවරුන්ට ලැබුණ වරප්‍රසාද තමයි මේ රජයේ රාජ්‍ය අමාත්‍යවරුන්ටත් ලැබෙන්නේ. මුජිබර් මන්ත්‍රීතුමා ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරු සහ රාජ්‍ය අමාත්‍යවරු පටලවාගෙන ඇතැයි රාජ්‍ය අමාත්‍ය ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න මහතා සඳහන් කළේය.

එම්සීසී ගිවිසුම පිලිබඳව මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්නයකට පිලිතුරු දුන් අමාත්‍ය ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න මහතා, එම්සීසී ගිවිසුම පිලිබඳව මේ වනවිට අධ්‍යයනය කරමින් සිටින බවත්, කෙසේ වෙතත් රටට අහිතකර ගිවිසුමකට අත්සන් කිරීමට රජය කිසිසේත් කටයුතු නොකරන බවත් පැවසීය.