ජාත්‍යන්තර කඳුකර දිනය දුම්බර කබරගල කැලෑ බොක්කේදී සමරයි

ජාත්‍යන්තර කඳුකර දිනය දුම්බර කබරගල කැලෑ බොක්කේදී සමරයි

11 December 2019 03:28 pm

අන්තර්ජාතික කඳුකර දින සැමරුම නිමිත්තෙන් මෙරට  ප්‍රධාන උත්සවය දුම්බර කඳු පන්තියට අයත්  කබරගල කැලෑ බොක්ක ප්‍රදේශයේ දී පැවැත්විණි.

අන්තර්ජ  ජාතික මිහිතල සමුළුවේදී කඳුකර සංරක්ෂණය විය යුතු බවට වර්ෂ 1992දී යෝජනාවක් ඉදිරිපත් වී ඇති අතර පසුව එක්සත් ජාතික සංවිධානය විසින් වර්ෂ 2002 දී සෑම වර්ෂයකම දෙසැම්බර් මස එකොළොස් වන දින ජගත් කඳුකර දිනය වශයෙන් නම් කොට ප්‍රකාශ කර තිබේ.

එනමුත් ඒ සියල්ලට ප්‍රථමයෙන් දුම්බර කඳුකර ප්‍රදේශය දේශගුණික රක්ෂිතයක් වශයෙන් වර්ෂ 1873දී එවකට අධිරාජ්‍යවාදී පාලකයන් විසින් නම් කර ඇතැයි එම උත්සවයට සහභාගි වූ පරිසරවේදී ගාමිණී ජයතිස්ස මහතා පැවසීය. එදා සිට මේ දක්වා ජෛව විවිධත්ව වශයෙන් විශාල වැදගත්කමක් සහ දායකත්වයක් නකල්ස් දුම්බර රක්ෂිතය විසින් දරන බව ද ඔහු සදහන් කළේය.

පාසල් පරිසර නියමු කණ්ඩායම්, බාලදක්ෂයන්, පාසල් දරු දැරියන්, පරිසරවේදීන්, මහනුවර සහ මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාල, ප්‍රාදේශීය සභාවල නිලධාරීන්, ප්‍රදේශවාසීන් ඇතුළු විශාල පිරිසක් මෙම කඳුකර දින සැමරුමට එක් ව සිටියහ.

කබරගල කැලෑබොක්ක මහා විදුහල් පරිශ්‍රයේ සිට කිලෝමීයර් මීටර් හයක දුරක් පා ගමනින් පැමිණි පිරිස කැලෑ බොක්ක තේ වතුයායේ  අංශක 360 දර්ශන පථය වෙත ළඟා වූහ. දුෂ්කර කඳුකර මාර්ගයක් ඔස්සේ ගමන් කළ පිරිසට වර්ෂාව සහ මීදුම් සහිත සුළං යම් බාධාවක් ගෙන දුන් නමුත් පැය තුනක පමණ කාලයකින් කදු මුදුන වෙත ළගාවීමට ඔවුන්ට හැකියාව ලැබුණි. 

සවස් භාගය වන විට වැසි හා මීදුම් තත්ත්වය මඳක් සමනය වූ අතර එහිදී  එහිදී පැරෂුට් ආධාරයෙන් කඳුමුදුනේ සිට පහතට පැන පියාසර කිරීමේ  සංදර්ශනයක්   පැවැත් විණ.

විදේශිකයන් කිහිපදෙනෙකු ද ඇතුලු මෙම  ගගන කිමිදුම් කණ්ඩායම පහළොස් දෙනෙකුගෙන් සමන්විත වූ අතර ඔවුන් 360° දර්ශන පථයේ සිට කැලෑ බොක්ක ප්‍රදේශය දක්වා පියාසර කිරිම සිදුකෙරිණ.

කඳුකර වන පන්ති ආරක්ෂා කරගැනීම පිළිබඳව පාසල් දරු දැරියන්  දැනුවත් කිරීමේ වැඩමුළු  සහ බාලදක්ෂයන් විසින් කදවුරු බැද රාත්‍රී ගතකිරීම මීට සමගාමීව සිදුවූ අතර මධ්‍යම පළාත් සභාව, මහනුවර සහ මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාල,පන්විල ප්‍රාදේශීය සභාව,ජෛව විවිධත්ව ලේකම් කාර්යාලය, මධ්‍යම පරිසර අධිකාරිය ඇතුළු රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන රැසකගේ සහභාගීත්වයෙන් මෙම ජගත් කඳුකර දින සැමරුම් උත්සවය පැවැත්විණ.

මහනුවර දිස්ත්‍රික් ලේකම් තිස්ස කරුණාරත්න මහතා, මාතලේ දිස්ත්‍රික් ලේකම් එස්. එම්. ජී. කේ. පෙරේරා මහතා, මධ්‍යම පරිසර අධිකාරියේ මධ්‍යම පළාත් අධ්‍යක්ෂක කේ.පී. වැලිකන්නගේ මහතා, පරිසරවේදී ගාමිණී ජයතිස්ස මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් වූහ.

නදීක දයා බණ්ඩාර - මහනුවර