මාතලේ නගරාධිපති - නි. නගරාධිපති ගැටුම තවත් ඇවිලෙයි !

මාතලේ නගරාධිපති - නි. නගරාධිපති ගැටුම තවත් ඇවිලෙයි !

11 December 2019 12:41 pm

ජනාධිපතිවරණයත් සමගින් රටේ ජාතික දේශපාලනයේ සිදු වූ පෙරළිවලට සමගාමීව ප්‍රාදේශීය වශයෙන්ද විවිධ දේශපාලන පෙරළි සිදුවෙමින් තිබේ. මාතලේ මහ නගර සභාව ඊට එක් උදාහරණයකි.

පසුගිය පළාත් පාලන මැතිවරණයේදී එජාපය මාතලේ මහ නගර සභාව ජයග්‍රහණය කළ නමුත් ඔවුන්ට බහුතර බලය හිමි නොවීය. කෙසේ වෙතත් ලංකා කම්කරු කොංග්‍රසයෙන් තේරී පත් වූ මන්ත්‍රීවරයා සමග එක්ව එජාපය පාලන බලය හිමි කරගත් අතර නගරාධිපති තනතුරට පත් වූයේ එජාපයේ ඩල්ජිත් අළුවිහාරේ මහතාය. නියෝජ්‍ය නගරාධිපති ධුරය කම්කරු කොන්ග්‍රසයේ සන්දනම් ප්‍රකාශ් මහතාට හිමි විය.

ජාතික දේශපාලනයේ සිදු වූ වෙනස්කම් සමග පොදුජන පෙරමුණ මාතලේ මහ නගර සභාවේ බලය අත්පත් කර ගැනීමේ උත්සාහයක නිරතව සිටින අතර මේ නිසා නගරාධිපතිවරයා සහ නියෝජ්‍ය නගරාධිපතිවරයා අතර ගැටුම්කාරී තත්වයක් උද්ගත වී තිබේ. එය මේ වනවිට එකිනෙකාට ප්‍රසිද්ධියේ චෝදනා කරන මට්ටමට පත්ව තිබේ.

නියෝජ්‍ය නගරාධිපති සන්දනම් ප්‍රකාශ් මහතා පසුගියදා නගරාධිපතිවරයාට එරෙහිව චෝදනා සහිත ලිපිගොනුවක් මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ. ගමගේ මහතා වෙත භාරදීමට කටයුතු කළේය. 

මේ අතර නගරාධිපති ඩල්ජිත් අළුවිහාරේ මහතා විසින් ද අද (11) නියෝජ්‍ය නගරාධිපතිවරයා විසින් සිදු කරන ලදැයි කියන අක්‍රමිකතා පිළිබඳ තොරතුරු අඩංගු ලිපිගොනුවක් ආණ්ඩුකාරවරයා වෙත භාර දී තිබේ. මාතලේ නගරයේ අනවසර ඉදිකිරීම් සඳහා අවස්ථාව ලබාදීම ඇතුළු නියෝජ්‍ය නගරාධිපතිවරයා සම්බන්ධ අක්‍රමිකතා එහි අඩංගු වන බවයි වාර්තා වන්නේ.

අදාල ලිපිගොනුව භාර ගනිමින් මධ්‍යම ආණ්ඩුකාර ලලිත් යූ. ගමගේ මහතා පවසා තිබෙන්නේ, දෙපාර්ශ්වය විසින්ම එකිනෙකාට විරුද්ධව විවිධ චෝදනා ඉදිරිපත් කර ඇති බවයි. ඒ අනුව අදාල කරුණු සම්බන්ධයෙන් අපක්ෂපාතී හා විධිමත් පරීක්ෂණයක් පවත්වන බව ඔහු පවසයි.

තමන් කිසිදු වංචාවක් හෝ දූෂණයක් හෝ සිදුකර නොමැතිි බවත්, තමාට එල්ල කරන චෝදනා අසත්‍ය බවත් නගරාධිපති ඩල්ජිත් අළුවිහාරේ මහතා පවසනවා. ඒ නිසා ආණ්ඩුකාරවරයා විසින් පවත්වන ඕනෑම පරීක්ෂණයකට මුහුණදීමට සූදානම් බවයි ඔහු අවධාරණය කරන්නේ.

ජනතා මනාපයෙන් තේරී පත් වූ ප්‍රාදේශීය දේශපාලනඥයන් ජනතාවට සේවය කිරීම පසෙක තබා, ජනතාවගේ ගැටලු විසඳා ගැනීම පසෙක තබා තමන්ගේ දේශපාලන බල කඳවුරුවල ගැටලු විසඳා ගැනීම සඳහා මේ වනවිට කටයුතු කරමින් සිටී. එම ගැටලු විසඳා ගැනීම සඳහා ඔවුන්ට ඇති උනන්දුව ජනතාවගේ ගැටලු විසඳීම සඳහා නොතිබීම ගැටලුවකි.

නුවර සරත් සමරනායක