සිය මව්බිමේදී මංගල ටෙස්ට් තරගයට මුහුණ දෙන පකිස්තානුවෝ !

සිය මව්බිමේදී මංගල ටෙස්ට් තරගයට මුහුණ දෙන පකිස්තානුවෝ !

11 December 2019 10:09 am

ශ්‍රී ලංකාව සහ පකිස්තානය අතර තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය අද රාවල්පින්ඩි ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී ආරම්භ වේ. පකිස්තානය සිය මව්බිමේදී ටෙස්ට් තරග ක්‍රීඩා කරන්නේ දශකයකටත් වඩා වැඩි කාලයකට පසුවයි.

අවසන් වරට පකිස්තානයේ ටෙස්ට් තරග පැවැත්වුණේ 2009 වසරේ මාර්තු මාසයේදීය. විශේෂත්වය වන්නේ එදා පකිස්ානයේ ප්‍රතිවාදීන් වූයේ ද ශ්‍රී ලංකාව වීමයි. 2009 වසරේ මාර්තු මස පළමු වැනිදා ලාහෝර්හිදී ආරම්භ වූ දෙරට අතර දෙවැනි ටෙස්ට් තරගය අවාසනාවන්ත ලෙස අතරමග නතර කිරීමට සිදු වූයේ සමස්ත ක්‍රිකට් ලෝකයම භීතියට පත් කරමිනි.

තරගයේ තෙවැනි දිනයේ ක්‍රීඩා කිරීම සඳහා ක්‍රීඩාංගනය වෙත යමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩාංගනය අසලදී ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වූ අතර ක්‍රීඩකයන් ගමන් ගනිමින් සිටි බස් රථය පැදවූ රියදුරාගේ දක්ෂතාවයට පින්සිදු වන්නට ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට සිය ජීවිතය බේරා ගැනීමට එදා හැකියාව ලැබිණි.

ඉන්පසු ලොව කිසිදු ටෙස්ට් කණ්ඩායමක් පකිස්තානයේ තරග සංචාර සඳහා එක්වීම ප්‍රතික්ෂේප කළ අතර කෙසේ වෙතත් බටහිර ඉන්දීය කොදෙව්, සිම්බාබ්වේ සහ ලෝක කණ්ඩායමක් අවස්ථා කිහිපයකදී එර‌ට කෙටි තරග සංචාර සඳහා එක්විය. පසුගිය කාලයේදී ශ්‍රී ලංකා කණ්ඩායම සීමීත ඔ්වර් තරගාවලියකට සහභාගි වූ අතර එහිදී ලැබුණු ආරක්ෂාව පිළිබඳව සෑහීමට පත්වීමෙන් පසුව ටෙස්ට් තරගාවලිය ද පකිස්තානයේදී පැවැත්වීමට ශ්‍රී ලංකා බලධාරීන් එකඟතාවය පළ කළේය.

විශේෂත්වය වන්නේ මෙම තරගාවලිය සඳහා නම්කර තිබෙන පකිස්තානු කණ්ඩායමේ කිසිදු ක්‍රීඩකයෙකු තවමත් සිය මව්බිමේදී ටෙටස්ට් තරගයක් ක්‍රීඩා කර නොමැති වීමයි. ඒ අනුව පකිස්තානු කණ්ඩායමේ සාමාජිකයන් සියලු දෙනා සිය මව්බිමේදී ක්‍රීඩා කරන මංගල තරගය මෙය වනු ඇත. 

එසේම තරගාවලිය සඳහා නම්කර තිබෙන කණ්ඩායම් දෙකේම කිසිදු ක්‍රීඩකයෙකු පකිස්තානයේදී ටෙස්ට් තරග ක්‍රීඩා කර නොමැත.