සුරා නැතුව ශ්‍රී ලංකා පිළ පකිස්තානයට

සුරා නැතුව ශ්‍රී ලංකා පිළ පකිස්තානයට

9 December 2019 02:06 pm

තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියක් සඳහා සහභාගි වීමට පකිස්තානය බලා පිටත්ව ගිය ශ්‍රී ලංකා කණ්ඩායම මේ වනවිට එරටට ගොඩබැස තිබෙනවා. පකිස්තානු බලධාරීන් ශ්‍රී ලංකා කණ්ඩායම උණුසුම් ලෙස පිළිගත් අතර කණ්ඩායම සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ද ක්‍රියාත්මක වේ.

තරගාවලියේ පළමු ටෙස්ට් තරගය අනිද්දා (11) රාවල්පින්ඩි හිදී ආරම්භ වන අතර දෙවැනි තරගය ලබන 19 වැනිදා කරච්චි හිදී ආරම්භ වීමට නියමිතය.

කණ්ඩායමේ අත්දැකීම් බහුලම වේගපන්දු යවන්නා වන සුරංග ලක්මාල්ට අවසන් මොහොතේදී මෙම සංචාරය අහිමි වූ අතර ඒ ඔහුට ඩෙංගු උණ වැළඳීම හේතුවෙනි. ඔහු වෙනුවට අසිත ප්‍රනාන්දු කණ්ඩායමට එක්ව තිබේ.

2009 වසරේදී ශ්‍රී ලංකා කණ්ඩායමට පකිස්තානයේදී එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයට මුහුණ දුන් ක්‍රීඩකයන් අතරින් තවමත් කණ්ඩායම නියෝජනය කරන එකම ක්‍රීඩකයා වන්නේ ද සුරංග ලක්මාල්ය.

අදාල ප්‍රහාරයෙන් පසුව ජාත්‍යන්තර කණ්ඩායම් පකිස්තානයේ තරගාවලිවලට සහභාගි වීම ප්‍රතික්ෂේප කළ අතර ඉන් පසු පළමු වරට පූර්ණ ටෙස්ට් තරගාවලියක් සඳහා සහභාගි වන පළමු කණ්ඩායම ද ශ්‍රී ලංකාවයි. මීට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම සීමිත ඕවර් තරගාවලියක් සඳහා පකිස්තානයේ සංචාරය කළ අතර කෙසේ වෙතත් ප්‍රවීන ක්‍රීඩකයන් සියලුම දෙනා එම තරගාවලිය වර්ජනය කළේය. එම තරගාවලියේදී පකිස්තානය ලබාදුන් ආරක්ෂාව සම්බන්ධයෙන් තෘප්තිමත් වීම හේතුවෙන් එම ක්‍රීඩකයන් ද ටෙස්ට් තරගාවලිය සඳහා සහභාගි වීමට කැමැත්ත පළ කළේය.

තරගාවලියට පිටත්ව යෑමට පෙර නායක දිමුත් කරුණාරත්න ප්‍රකාශ කළේ අත්දැකීම් බහුල සුරංග ලක්මාල් නොමැති වීම කණ්ඩායමට බලවත් පාඩුවක් බවයි. කෙසේ වෙතත් තරුණ වේගපන්දු යවන්නන් එම අඩුව සම්පූර්ණ කිරීමට හැකි දක්ෂතාවලින් පූර්ණ බව ද ඔහු පවසනවා.

UN