අයහපත් කාලගුණය හේතුවෙන් පුද්ගලයන් දෙදහසකට වැඩි පිරිසක් ආපදාවට!

අයහපත් කාලගුණය හේතුවෙන් පුද්ගලයන් දෙදහසකට වැඩි පිරිසක් ආපදාවට!

1 December 2019 05:23 pm

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය නිසා දිස්ත්‍රික්ක 12කට බලපෑම් එල්ල වී ඇති අතර  පවුල් 700ක පමණ පුද්ගලයන් 2000කට වැඩි පිරිසක් ආපදාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි. 

ඊයේ පස්වරුවේ සිට ප්‍රදේශ රැසකට වර්ෂාව ඇදහැලෙමින් තිබෙන අතර ආපදා සඳහා මුහුණ දීම සඳහා සියලු අංශ සූදානමින් පසුවන බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන්නේ. 

අධික වර්ෂාව හේතුවෙන් නුවරඑළිය, වලපනේ, මුන්වත්ත,මලපට්ටාව ප්‍රදේශයේ නිවසක් මතට ඊයේ රාත්‍රි 7.30ට පමණ පස් කන්දක් කඩා වැටී සිදුවූ අනතුරින් එකම පවුලේ සිව් දෙනෙකු මිය ගොස් තිබේ. 

17 සහ 16 හැවිරිදි දරුවන් දෙදෙනා අතුරින් 17 හැවිරිදි දියණියගේ සිරුරු පොලීසිය හා යුධ හමුදාව එක්ව කළ සෝදිසි මෙහෙයුමේදී අද දින සොයා ගෙන තිබුණි. 

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ  නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කරන්නේ පවතින වැසි තත්ත්වය හේතුවෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ මාර්ග රැසකට පස් කදු කඩා වැටීම් වාර්තා වී ඇති බවයි. 

බදුල්ල,රත්නපුර හා කෑගල්ල යන දිස්ත්‍රික් තුනකට නාය යෑම් අවධානම් නිවේදන නිකුත් කර තිබේ. 

මේ වන විටත් පවත්නා අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් හෙට දවසේ  ආරම්භ වීමට නියමිත සාමාන්‍ය පෙළ විභාගයට යම්  බාධාවක්  ඇති විය හැකි බැවින් එම බාධාවන් වළක්වා ගැනීම සඳහා විශේෂයෙන් ආපදා ප්‍රදේශයන්හි දරු දැරියන්ට ආසන්නතම විභාග මධ්‍යස්ථානයට ගොස් විභාගයට පෙනී සිටීමේ අවස්ථාව ලබා දී ඇත. 

විභාග දෙපාර්තමේන්තුව, අධ්‍යාපන අමාත්‍යාංශය සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය එක්ව එම පහසුකම සලසන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිල නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කර තිබේ.