රටට විකල්පයක් අවශ්‍යයි - ප්‍රශ්නය විකල්පය  බලගන්වන එකයි ( VIDEO)

රටට විකල්පයක් අවශ්‍යයි - ප්‍රශ්නය විකල්පය  බලගන්වන එකයි ( VIDEO)

21 October 2019 10:47 pm

මේ මොහොත වන විට රටට විකල්පයක් අවශ්‍ය නමුත් එම වෙනස සිදුකරන්නේ කෙසේද යන්න පිළිබඳ ප්‍රශ්නයක් පවතින බව ජාත්‍යන්තර පරිසරවේදිනි ජනාධිපති අපේක්ෂිකා ආචාර්ය අජන්තා පෙරේරා මහත්මිය සඳහන් කළාය.

ඇය මේ බව සඳහන් කළේ විහාර මහා දේවි එළිමහන් රංග පීඨයේ  පැවති සිය පළමු ජනහමුව අමතමිනි.

අද දවසේ උපත ලබන සෑම දරුවෙක්ම උපතේ පටන් ණයකරුවකු වන  නමුත් රටට අනාගතයක් අවශ්‍ය හෙයින් මේ පවත්නා ක්‍රමවේදයේ වෙනසක් සිදුකිරීමට අවශ්‍ය බවයි අජන්තා පෙරේරා මහත්මිය පැවසුවේ. 

ඒ අනුව පාර්ලිමේන්තුවේ 225 වෙනස් කළ යුතු අතර ඔවුන්ගෙන් ඉදිරිපත්ව සිටින අපේක්ෂකයන්ට ජන්දය දීමෙන් වැළකී සිටිය යුතු බවද ඇය කියාසිටියාය. 

විශේෂයෙන් රට සංවර්ධනය කිරීම සඳහා තවදුරටත් ණය ආධාර ගැනීමට බලාපොරොත්තු නොවන අතර තමන්ගේ ජාත්‍යන්තර සබඳතා හරහා එම ණය බර අඩුකර ගැනීමට කටයුතු කළ හැකි බවද ඇය සඳහන්කරන්නීය. 

ජාත්‍යන්තර තලයේ පරිසරවේදිනියක් වන ඇය ඇගේ විෂය සම්බන්ධයෙන් ද සුවිශේෂී කාරණයක් මෙහිදී අදහස් දැක්වීය.

තමන්ගේ පාලන කාලය තුළ පරිසර අමාත්‍යාංශයක් වෙනම පවත්වාගෙන නොයන අතර මධ්‍යම පරිසර ආධිකාරියට පුළුල් බලතල ලබාදිය යුතු බව ඇය ප්‍රකාශ කළාය.

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාටද පරිසර අමාත්‍යාංශය තමන් යටතට නොගන්නා ලෙස තමන් උපදෙස් දුන් නමුත් ඔහු ඒ සම්බන්ධයෙන් සැලකිල්ලක් නොදැක්වූ බව පැවසූ අජන්තා පෙරේරා මහත්මිය සඳහන් කළේ පරිසර අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලයේ කටයුතු කිරීමෙන් සංවර්ධන කටයුතු වලදී පරිසරයට වන හානිය වළක්වා ගැනීමට නොහැකි තත්ත්වයක් උදාවන බවයි. 

මෙම ජන හමුවේදී නීතිඥ නාගනන්ද කොඩිතුවක්කු මහතාද අදහස් දැක්වීය. 

රටේ ඉහළම රාජ්‍ය නායකයාගේ සිට පහලම නිලධාරියා දක්වා නීතියේ ආධිපත්‍ය සුරක්ෂිත විය යුතු බව ඔහු අවධාරණය කළේය. 

සිය ජන සම්මත ව්‍යවස්ථාව හරහා එය ඉටුවන අතර ඒ වෙනුවෙන් තමන් නොනැවතී කටයුතු කරන බවයි නාගානන්ද කොඩිතුවක්කු මහතා පැවසුවේ. 

මෙම ජනහමුව ශ්‍රී ලංකා සමාජවාදී පක්ෂය හා නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතාගේ විනිවිද පදනම ඇතුළු කණ්ඩායම්වල සහභාගීත්වයෙන් සංවිධානය කර තිබුණි.