දෙමළ ඡන්ද කාටද?

දෙමළ ඡන්ද කාටද?

21 October 2019 04:59 pm

උතුරු-නැගෙනහිර දෙමළ ජනතාවගේ ප්‍රධාන දේශපාලන නියෝජිතයා වන දෙමළ ජාතික සන්ධානය තවමත් ජනාධිපතිවරණය සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළඹ නොමැත.

දෙමළ සන්ධානය නියෝජනය කරන දේශපාලන පක්ෂ ඇතුළ උතුරේ දේශපාලන පක්ෂ 05 ක් ඒකාබද්ධව ප්‍රධාන ජනාධිපතිවරණය අපේක්ෂකයන් වෙත කරුණු 13 ක් ඇතුළත් ලිපියක් යොමුකර ඇති අතර මෙතෙක් කිසිදු අපේක්ෂකයෙකු ඒ සඳහා එකඟතාවය පළකර නොමැති බවයි. එම දේශපාලන පක්ෂ පවසන්නේ.

මෙම දේශපාලන පක්ෂ පහ අතුරෙන් සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහතාගේ ඊපීආර්එල්එෆ් සංවිධානය සහ උතුරේ හිටපු මහ ඇමති සී.වී. විග්නේෂ්වරන් මහතාගේ දෙමළ ජනතා සන්ධානය මේ වනවිට විකල්ප තීරණයකට පැමිණ තිබේ. අදාල කරුණු 13 සඳහා කිසිදු ජනාධිපති අපේක්ෂකයෙක් එකඟතාවය පළ නොකරන්නේ නම් වෙනත් ක්‍රියාමාර්ගයක් ගත යුතු බව එම පක්ෂ දෙකේ අදහසයි.

ජනාධිපතිවරණය වර්ජනය කිරීම සම්බන්ධයෙන් ඔවුන් සාකච්ඡා පවත්වා ඇති අතර උතුරේ පැවැත්වෙන ජනාධිපති අපේක්ෂකයන්ගේ රැස්වීම් වර්ජනය කිරීම පිළිබඳවද එහිදී කතාබහ කර තිබේ.

දෙමළ ජනතාවගේ ඉල්ලීම් ඇතුළත් ලිපියට එකඟ වන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් පිළිතුරු එවීමට හෝ එම ඉල්ලීම් පිළි නොගන්නේ නම් ඒ සඳහා විකල්ප ඉදිරිපත් කිරීමට හෝ ජනාධිපති අපේක්ෂකයන් සූදානම් නොමැති නම් ඉන් අදහස් වන්නේ උතුරේ දෙමළ ජනතාව අමතක කර දමා කටයුතු කිරීම ඔවුන් සූදානම් බව යැයිද සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහතා සහ විග්නේෂ්වරන් මහතා පවසයි.

මේ අනුව උතුරේ ඇතැම් දේශපාලන පක්ෂ ජනාධිපතිවරණය වර්ජනය කිරීමට ඉඩ ඇති අතර එසේ වුවහොත් එය ප්‍රධාන ජනාධිපතිවරණ අපේක්ෂකයන් දෙදෙනාගේ මෙන්ම විකල්ප අපේක්ෂකයන්ගේද ඡන්ද පදනමට බලපෑම් කරනු ඇත.

අනෙක් පැත්තෙන් රටේ නායකයා තෝරාගන්නා ජනමත විමසුමකදී උතුරේ ජනතාව ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැලකී සිටීම ජාත්‍යන්තරය ඉදිරියේ ශ්‍රී ලංකාවට මෙන්ම ඉදිරියේදී පත්වන ජනාධිපතිවරයාට ද අහිතකර ලෙස බලපානු ඇත.

UN