මගේ ස්වාමියා මේ රට විසින් මරල දැම්මා. අද ඉඳන් මේ රටෙන් බාගයක් මට හිනාවෙයි. ඒත් මම ඇත්ත කියනවා - නිර්මලා අල්විස්

මගේ ස්වාමියා මේ රට විසින් මරල දැම්මා. අද ඉඳන් මේ රටෙන් බාගයක් මට හිනාවෙයි. ඒත් මම ඇත්ත කියනවා - නිර්මලා අල්විස්

21 October 2019 01:48 pm

ප්‍රවීණ මාධ්‍යවේදී, ගීත රචක ප්‍රේමකීර්ති ද අල්විස්ගේ බිරිඳ නිර්මලා අල්විස් ඊයේ ජාතික ජන බලවේගය විසින් පැවැත්වූ කාන්තා ප්‍රඥප්තිය එළිදැක්වීමේ උළෙලේදී අනුර කුමාර දිසානායක මහතාට ජනාධිපතිවරණයේදී සහයෝගය දෙන ලෙස සිදුකළ ආයාචනය ආන්දෝලනාත්මක ප්‍රකාශයක් බවට පත් ව තිබේ. පහත දැක්වෙන්නේ මෙම අවස්ථාවේදී නිර්මලා අල්විස් මහත්මිය විසින් සිදුකළ සම්පූර්ණ කතාවයි. 

‘‘මම අවසර ගන්නේ මහා ලොකු බලාපොරොත්තුවකින්. මම මෙතැනට ආවෙ ගසකට පොහොර සපයන්න පුළුවන් මාතාවක් විදිහට පුංචි රහසක් ඔබට කියන්න. 

මේ මොහොතින් පස්සෙ විෂ කුසලානය අතට ගත්ත කෙනාගෙ ඉරණමට මම ලක් වෙනවා. රටෙන් බාගයක් මට හිනාවෙයි. මොකද මේ කියලා. ඒ නොදැනුවත්කම නිසා කියන්නයි, මම මෙතැනට ආවෙ රහසක් විදිහට. 

මේක මට බොහොම ඓතිහාසික අවස්ථාවක්. මම නිර්පාක්ෂික කෙනෙක්. මම කිසිම අවස්ථාවක කිසිම දේශපාලනයක් කරල නෑ. නමුත් මම වියපත් මාතාවක් විදිහට ලෝකය දිහා, රට දිහා බලාගෙන හිටියා. දහසක් තරුණයො මිය යද්දි උතුරේ දකුණේ හැම පැතිවලම අම්මලා කඳුළු හෙළද්දි මට ඒවා දැනුණා. ඒ සියල්ලම බලන් ඉඳිද්දි මේ රටට විය යුත්තේ කුමක්ද කියලා මම කල්පනා කරද්දි මම අවුරුදු 30ක් බලාගෙන හිටියා. 

මීට අවුරුදු 30කට කලින් මම මේ වේදිකාවෙම මේ පුටුවෙම වාඩිවෙලා ඉද්දි මේ ශාලාවෙ අතුරු සිදුරු නැතිව පිරිල හිටිය මේ රටේ කලා රසික රසිකාවියො එවකට හිටිය කලා සංස්කෘතික අමාත්‍යවරයාට හූ තිබ්බා. එදා හිටිය මිනිස්සුන්ගෙත් යහපත් චේතනා තිබුණා. ඒකට මාර්ගයක් තිබුණෙ නෑ. 

මම ඉස්සෙල්ල කිව්ව වගේ මේ රටේ මිනිස්සු මට දැන් හිනා වෙයි මට පිස්සු කියලා. මේ නහින දෙහින කාලෙ මම මේ මොකක්ද කර ගන්න යන්නෙ කියලා. නමුත් කල් යල් බලලා අදීන ව සුදුසු දේ කරන්න පුළුවන් කෙනෙක් මම. 

මට කියන්න තියෙන රහස තමයි, අද වෙනකල් මට ඔබතුමන්ලාගේ ජනාධිපති අපේක්ෂකයා අනුර කුමාර දිසානායක මහතා මුණ ගැහිල නෑ. කවදාවත් එතුමා මට ආරාධනයක් කරලත් නෑ. ඒක අවංක විනීත කම.

දැන් හැමෝටම තියෙනව කුතුහලයක් ප්‍රේමකීර්තිගෙ ඝාතනය ගැන. අවුරුදු ගාණකට පස්සෙ ඒ ගැන සොයාගෙන ගිහින් ඉවර වෙලා ඇත්ත දැනගත්ත මොහොතෙ මම ඉස්සරවෙලාම කළේ මෙතුමා හොයාගෙන ගිහිල්ල දැනුවත් කරපු එක. එදා මට මෙතුමව හම්බ වුණේ නෑ. නමුත් මම කිව්වා, මට කිසිම පක්ෂයක් නෑ, මට කිසිම ආර්ථික හෝ වෙන කිසිම ලාභයක් නෑ. මම කිව්වෙ මේ වසං කරන ලද සත්‍යය එළියට එන්න ඕනෙ, නැත්නම් මේ වගේ දේවල් රටේ තව වෙනව කියන එකයි.

එහෙම වුණත් මේ අය මට කවදාවත් මේ රැස්වීමට එන්න ඇවිත් කතා කරන්න කියල කිව්වෙ නෑ. මම අවස්ථා කිහිපයකදි රට යන්න ඕනෙ මේ මාර්ගයෙ තමයි කියලා මෙතුමන්ලගෙ කතා අහගෙන ඉඳල මගේ අදහස් කියල තියෙනවා. එච්චරයි. මම ඊයෙ නිකමට වගේ කතා කළාම මෙතුම කිව්වා, අක්කෙ කාන්තා සමුළුවක් තියෙනවා, පොඩ්ඩක් එන්න පුළුවන්ද ඒක බලන්න කියලා. අද වුණත් මම කතා කරන්න සූදානමින් මෙතැනට ආවෙ නෑ. දැන් විනාඩි පහකට කලින් විතර මම ම තීරණය කළා මට පොඩ්ඩක් කතා කරන්න ඕනෙ කියලා. 

මේක යම්කිසි මොහොතක ඈත පුංචි ගමක ඉන්න හැරමිටි ගහන අම්ම කෙනෙකුට වුණත් තේරෙන විදිහට මම මේ කියන්නෙ.. මම මේකෙන් අදහස් කරන දේ තමයි, මෙතුමන්ලා ඉතාමත්ම විනීත විදිහට, අවස්ථාවෙන් ප්‍රයෝජන ගත්තෙ නැති මිනිස්සු. 

මගේ ස්වාමියා මේ රට විසින් මරා දැම්මට පස්සෙ මම අවුරුදු 5 ක් තිස්සෙ කෝටි 50 ක වන්දි නඩුවක විත්තිකාරියක්. ඒ කාලෙදිවත්, මම මෙහෙම නෙවෙයි මේ දේවල් සිද්ධ වෙලා තියෙන්නෙ කියල හඬා වැටෙන කාලෙවත් ඒ දේවල්වලින් ප්‍රයෝජන අරගෙන ජනතා විමුක්ති පෙරමුණ හෝ මෙතුමා හෝ කිසිම කෙනෙක් කිසිම බලපෑමක් නොකර ඉතාමත් විනීත, විනයගරුක සාධාරණ පිරිසක් විදිහට හැසිරුණු නිසා අද මම මෙතැනට ස්වෙච්ඡාවෙන් ආවෙ. 

අවසාන වශයෙන් මට මතක් වෙනවා, මීට අවුරුදු 30කට කලින් විවිධ පක්ෂවලින් මට ආරාධනා ආවා. එතකොට මම නැගී හිටලා මම පැහැදිලිව කිව්වා, මේ කිසි දෙයක් මට හැකි හෝ යුතු දේවල් නෙවෙයි, විශේෂයෙන්ම ලෝක ඉතිහාසයේ ස්වාමියා, පියා හෝ සහෝදරයා ඝාතනයෙන් පසුව කරළියට එන දේශපාලන චරිතයක් වීමේ ඒ කථිකාව මගේ නම් සම්පූර්ණයෙන් වෙනස් කියලා මම එදා කිසිම පක්ෂයක් හෝ කල්ලියක් හෝ කණ්ඩායමක් වෙනුවෙන් පෙනී සිටියෙ නැහැ. එහෙම අවුරුදු 30 ක් හිටපු මම අද මෙතැනට ආවෙ මේ විනීත කම සහ, පසුගිය දවස් කිහිපයේදි මම අසාගෙන බලාගෙන හිටපු, මිනිස්සුන්ට ලැබිය යුතු විය යුතු දේ මේවායි කියල අවබෝධයක් තියෙන, ඒ දේවල් සඳහා අපි කරන්නේ මෙහෙමයි කියලා ඉතාමත්ම බුද්ධිමත්ව රට හමුවේ ජාතික ජන බලවේගය ප්‍රකාශ කළ නිසයි. ඒ නිසා තමයි, ඊයෙ මම දුරකථන ඇමතුමක් දීලා, අද මෙතැනට ආවෙ. 

මං දන්නවා මේ හඬ බොහෝ තැන්වලට මට විරුද්ධව යනවා. නමුත් ඒ මොන දේ වුණත් නිර්පාක්ෂික කෙනෙක් විදිහට මම ආරාධනා කරනවා, ඈත ගම්දනව්වල ඉන්න විවිධ වැරදි අදහස්වල ඉන්න අයට මම ආරාධනා කරනවා, මව්පියවරුන්ට සහෝදර සහෝදරයන්ට මම ආරාධනා කරනවා, වැරදි මතවලින් මිදිලා මේ රට යන පැත්ත ගැන හිතන්න කියලා. ඒ වෙනුවෙන් හෙට දවසේ ලැබෙන ඕනෑම දඬුවමක් විඳින්න මම සූදානම්.  අද ඉඳන්  මට මොන හංවඩුවක් ගහයිද දන්නෙ නෑ. 

ඒ වුණත් රටක් නැගෙන්න ඕනෙ, රටක් හැදෙන්න ඕනෙ, රටකට යමක් ලැබෙන්න ඕනෙ. අන්න ඒ දේ පිළිබඳ අපේක්ෂාව මෙතුමාගේ තිබෙන නිසා හැමදෙනාටම ඒ අපේක්ෂාවට සහයෝගය දෙන්න කියල කිසිම බයක් නැතිව කියන්න පුළුවන්.“

 පසුවදන - ප්‍රවීණ සහ අසහාය ගීත රචක, ගුවන් විදුලි ශිල්පී ප්‍රේමකීර්ති ද අල්විස් මහතා 1989 වසරේ ජූලි 31වැනි දින සාහසිකයන් විසින් ඝාතනය කරන ලදී. මෙම ඝාතනයේ චෝදනාව මුල් කාලීනව ජනතා විමුක්ති පෙරමුණ වෙත එල්ල වී තිබිණි.