දේශගුණික විපර්යාස හමුවේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්යභාරය ඉටුකළ හැකිද?

දේශගුණික විපර්යාස හමුවේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්යභාරය ඉටුකළ හැකිද?

21 October 2019 02:00 pm

දේශගුණ විපර්යාස අතින් ලෝකයේ දෙවන අවදානම් ස්ථානය හිමි වන්නේ ශ්‍රී ලංකාවට වුවත් එම දේශගුණ විපර්යාස සම්බන්ධයෙන් තොරතුරු සොයා බැලීමේ ප්‍රමුඛ කාර්යයක් ඉටුකරනු ලබන ශ්‍රී ලංකාවේ කාලගුණ දෙපාර්තමේන්තුව සතුව සිටින විද්‍යාඥයින්ගේ ප්‍රමාණය මෙන්ම භාවිත කරනු ලබන තාක්ෂණික ක්‍රමවේදයන් ප්‍රමාණවත් මට්ටමක නොමැති බව තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනත මගින් සිදුකළ සොයා බැලීමේදී අනාවරණය විය.

විශේෂයෙන්ම කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහා කාලගුණ විද්‍යාඥයින් 34 දෙනෙකු පමණ ආදාළ කාර්යයන් සිදුකර ගැනීම සඳහා අවැසි වුවත් මේ වනවිට කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව තුළ සේවය කරනු ලබන්නේ කාලගුණ විදාඥයින් 27 ක් පමණ බවද ලබා ගත් එම තොරතුරු මගින් අනාවරණය වූ දෙයකි.

කාලගුණ තොරතුරු මහජනයාගේ එදිනෙදා කටයුතු සඳහා බලපානවා සේම රටක ආර්ථිකය කෙරෙහිද සෘජුව බලපෑම් ඇති කරනු ලබයි. එබැවින් සෑම රටකම පාහේ කාලගුණය පිළිබද තොරතුරු ගවේෂණය කරමින් තොරතුරු ලබා දෙන මධ්‍යස්ථාන පවත්වාගෙන යනු ලබයි. එසේ නිවැරදි තොරතුරු ඉකමණින් ලබාදීම ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ වගකීම වේ.

විශේෂයෙන්ම දේශගුණ විපර්යාසයන් සිදුවන ප්‍රමුඛ රටක් ලෙස ලෝකයේ ලැයිස්තුගතව සිටින ශ්‍රී ලංකාවේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සතු මානව හා භෞතික සම්පත්හි පවතින අඩුපාඩු සැබවින්ම සිදු නොවිය යුත්තකි. 2019 වසරේ ගෝලීය දේශගුණ අවදානම් දර්ශකය අනුව සිදු කරන ලද ලැයිස්තුගත කිරීමේදී දේශගුණ අවදානම් දර්ශකයේ දෙවන ස්ථානය හිමි වන්නේ ශ්‍රී ලංකාවටය. එහිදී එම වාර්තාවට අනුව 2017 දී වැඩිපුරම පීඩාවට පත් වූ රටවල් ලැයිස්තුවේ පුවර්ටෝ රිකෝ, ශ්‍රී ලංකාව සහ ඩොමිනිකා ඉහළින්ම ඇත.

එමෙන්ම 1998 සහ 2017 අතර කාලය තුල පුවර්ටෝ රිකෝ, හොන්ඩුරාස් සහ මියන්මාරය ආන්තික කාලගුණික විපර්යාසයන්ගෙන් වැඩිපුරම පීඩාවට පත් වූ රටවල් ලෙස පෙන්වා දී තිබේ. මෙම රටවල් තුළ සමස්තයක් ලෙස ගත්කළ, කාලගුණික විපර්යාස 11,500 කට වැඩි සංඛ්‍යාවක ප්‍රතිඵලයක් ලෙස  526,000 කට වැඩි පිරිසක් මිය ගොස් තිබෙන බවද එම වාර්තාව මගින් පෙන්වා දී තිබේ.

දේශගුණික විපර්යාස යනු කුමක්ද?

ගෝලීය දේශගුණය යනු සූර්යයා, පෘථිවිය සහ සාගර, සුළඟ, වැසි සහ හිම, වනාන්තර, කාන්තාර සහ සැවානා සහ මිනිසුන් කරන සෑම දෙයක්ම සම්බන්ධිත පද්ධතියකි. ස්ථානයක දේශගුණය එහි වර්ෂාපතනය, වර්ෂය තුළ උෂ්ණත්වය වෙනස් වීම යනාදිය දේශගුණික විපර්යාස ලෙස හැඳින්විය හැකිය.

ගෝලීය දේශගුණය පිළිබඳ නිදසුනක් ලෙස, පැසිෆික් සාගරයේ ඉහළ යන උෂ්ණත්වය දැඩි ලෙස හමා එන, වැඩි වර්ෂාවක් ඇද හැලෙන හා වැඩි හානියක් සිදු කරන සුළි සුළං පෝෂණය කරන්නේ කෙසේද යන්නත්, ඇන්ටාක්ටිකා අයිස් දියවන ගෝලීය සාගර ප්‍රවාහයන් මාරු කරන අතර එමඟින් නව මට්ටම දක්වා මුහුදු මට්ටම සෙමෙන් ඉහල යාමද සිදු වේ. ගෝලීය දේශගුණික විපර්යාස එතරම් වැදගත් හා සංකීර්ණ වන්නේ මෙම පද්ධතිමය සම්බන්ධතාවය නිසාය. ඇතැම් මානව ක්‍රියාකාරකම් වැනි සාධක නිරන්තර දේශගුණික විපර්යාස සඳහා මූලික හේතු ලෙස හඳුනාගෙන ඇත.

ආන්තික කාලගුණික සිදුවීම් හේතුවෙන් ශ්‍රී ලංකාව දෙවන ස්ථානයට පත්ව ඇත. විශේෂයෙන් නිරිතදිග ප්‍රදේශවල අධික වර්ෂාපතනයක් ඇති කළ ප්‍රබල කුණාටු මෙන්ම ගංවතුර හා නායයෑම් හේතුවෙන්; අනෙක් අතට, අඛණ්ඩව වසර හතරක් පුරා රටේ උතුරු හා උතුරු මැද ප්‍රදේශවල අඛණ්ඩ නියඟය ඇති විය.

දේශගුණික විපර්යාස තුලින් සිදු වූ බලපෑම්

මෑතදී ශ්‍රී ලංකාවට විවිධ ස්වාභාවික විපත් බලපා ඇත. ශ්‍රී ලංකාව 2014 ඔක්තෝම්බර් මාසයේදී නායයෑමකට ලක් වූ අතර 2014 දෙසැම්බර් මාසයේදී ගංවතුරට ගොදුරු විය. 2016 දී දශක හතරක් තුළ පැවති දරුණුතම නියං තත්වයන්ට ශ්‍රී ලංකාව මුහණ දුන්නේය. දරුණු නියඟ තත්වයන් 2017 දක්වා ව්‍යාප්ත වූ අතර සැලකිය යුතු ආර්ථික හා සමාජීය බලපෑම් ඇති කළේය. වගා ආදායම අඩුවීම, විශේෂයෙන් ග්‍රාමීය ගොවීන් සඳහා ජාතික දරිද්‍රතා මට්ටම ඉහළ යෑමට නියඟය හේතු විය. දිස්ත්‍රික්ක 20 ක නියඟය හේතුවෙන් පවුල් 500,000 කට අධික සංඛ්‍යාවක් පීඩාවට පත්වූ බවට ඇස්තමේන්තු කර තිබේ.  2016 මැයි මාසයේදී ශ්‍රී ලංකාව නිවර්තන කුණාටුවකට හසු වූ අතර එය පුළුල් ගංවතුර හා පසුව නායයෑම්වලට හේතු විය. වසරකට පසුව, 2017 මැයි මාසයේදී අඛණ්ඩව ඇද හැලෙන වර්ෂාව හේතුවෙන් හදිසි ගංවතුර හා අධික විනාශයක් සිදුවිය. මෑත කාලය තුළද සුළි කුණාටු, සුළි සුළං සහ අධික වර්ෂාපතනය වැනි දරුණු කාලගුණික සිදුවීම්වලට අප නිතර නිතර හා අනපේක්ෂිත ලෙස ගොදුරු විය. එමෙන්ම ඇති වූ දැඩි සුළං තත්වයන් තුලදී නිවැරදි තොරතුරු නියමිත කාලයට නොලැබීම තුළ මුහුදු ගිය ධීවර ප්‍රජාවට ධීවර බෝට්ටු මෙන්ම ජිවිත අහිමි වීමද පසුගිය කාලයයේදී අසන්නට ලැබුණු දෙයකි. මෙවන් පසුබිමක ශ්‍රී ලංකාවේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සතුව තිබෙන මෙම අඩුපාඩු සම්බන්ධයෙන් සොයා බලා ඒ සඳහා පිළියම් යෙදිය යුතු  නොවේද ?

විද්‍යාඥයින් අඩු ඇයි?

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහා 2017 වර්ෂයේ සිට මේ වනතෙක් කිසිදු විද්‍යාඥයෙක් හෝ පර්යේෂණ නිලධාරියෙක් බඳවාගෙන නොමැති පසුබිමක මෙම පුරප්පාඩු කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සතුව පවතී. පුරප්පාඩු පවතින අංශවලට අවශ්‍ය විද්‍යාඥයින් මෙන්ම පර්යේෂණ නිලධාරීන් නොමැති වීමට ප්‍රධාන හේතුව බවට පත්වී ඇත්තේ කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව එම බඳවා ගැනීම් සඳහා නිසි කාලරාමුවක් යටතේ නිසි ක්‍රමවේදයක් අනුගමනය නොකිරීම බවයි, ඒ සම්බන්ධයෙන් කළ සොයා බැලීමේදී අනාවරණය වූයේ.

රජයේ ක්‍රමවේදයන්ට අනුව, පවතින පුරප්පාඩු සඳහා අවශ්‍ය විද්‍යාඥයින් බඳවා ගනු ලබන්නේ දෙපාර්තමේන්තුව මගින් පවත්වන විභාගවලින් පසුවය. එම බඳවා ගැනීම් සිදු කළ හැක්කේ සිටින නිලධාරීන් විශ්‍රාම යාමෙන් අනතුරය. ඉන් පසුව බඳවා ගන්නා නිලධාරීන්ට වසර දෙකක පුහුණුවක් ලබා දීම සිදු කරන අතර එම ක්‍රියාදාමය සඳහා වසර තුනක පමණ කාලයක් යන තෙක් එම නිලධාරීන්ගේ පුරප්පාඩුව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සතුව පවතින බවයි කළ විමසීමකදී එහි අධ්‍යක්ෂවරයෙකු කියා සිටියේ.

නමුත් මේ සඳහා විසඳුමක් ලෙස විශ්‍රාම යන නිලධාරියා වෙනුවට තවත් නිලධාරියෙකු පත් කිරීම සිදු කළ යුතුය. එම නවක නිලධාරියාගේ පුහුණුව, විශ්‍රාම යන නිලධාරියා ඉවත් වන විට අවසන් වී තිබිය යුතුයි. එසේ නිලධාරීන් 25 ක වත් පුහුණු ඒකකයක් ලෙස පවත්වා ගත යුතුයි. සෑම වසරකම විශ්‍රාම යන නිලධාරීන් සිටින බැවින් ඉදිරි වසර 03 කට සරිලන ලෙස මෙම පුහුණු ඒකකය පවත්වා ගත යුතු බවද ඔහු කියා සිටියේය.

තාක්ෂණයේ දුබලකම

නිවැරදි මෙන්ම කාර්යක්ෂම කාලගුණ තොරතුරු ලබාදීම වෙනුවෙන් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් අනුගමනය කරනු ලබන ප්‍රධාන ක්‍රමවේදයක් වනුයේ රේඩියෝ සොන්ට් තාක්ෂණය භාවිතා කිරීමයි. මෙහිදී සිදුකරනු ලබනුයේ හයිඩ්‍රජන් හෝ හීලියම් පිරවූ බැලුනයක එල්ලා රේඩියෝ සොන්ට් උපකරණය අහසට යැවීමය. මෙමගින් අහසේ විවිධ මට්ටම්වලදී උෂ්ණත්වය, තෙතමනය හා පීඩනය සම්බන්ධයෙන් මිනුම් දක්වන සංඥා නිකුත් කිරීම සිදු කෙරේ. සාමාන්‍යයෙන් වෙනත් දියුණු රටවල මෙන්ම අනෙකුත් දේශගුණ අවදානම් දර්ශකයේ සිටින රටවල පවා මෙම බැලුන් දිනකට තුනක් හෝ ඊට වඩා අහසට යවමින් කාලගුණ තොරතුරු රැස් කරනු ලැබේ. ඒ සඳහා එක බැලුනයක් සඳහා රුපියල් හතලිස් දාහක් පමණ වැය වේ.

නමුත් මෙම රේඩා බැලුන් තාක්ෂණය ලංකාවේ භාවිත කරනු ලබන්නේ සතියකට දෙකක් පමණක් බවද ලබා ගත් එම තොරතුරු මගින් අනාවරණ විය. නමුත් මෙවැනි රේඩා බැලුන් සතියකට 05 ක් වත් යැවිය යුතු බවත් පවතින මූල්‍යමය අඩු පාඩු නිසා සතියකට දෙකක් පමණක් මෙම තාක්ෂණය භාවිත කරන බවයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් ලබා ගත් තොරතුරු මගින් අනාවරණය වුයේ.

ලංකාවේ කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සතුව දැනට රේඩාර් යන්ත්‍ර භාවිතයද සිදු නොවේ. එමෙන්ම දැනට චීනය සහ ජපානය මගින් යවන චන්ද්‍රිකාවල සහය ලබා ගනිමින් කාලගුණ තොරතුරු ලබා ගැනීම සිදු කෙරේ. එමෙන්ම දැනට කාලගුණ දෙපාර්තමේන්තුව සතුව පවතින උපකරණ සම්බන්ධයෙන් කළ සොයා බැලීමේදී අනාවරණය වූයේ නව උපකරණද සමග අවුරදු 50 ක් පමණ පැරණි උපකරණද පවතින බවයි. එමෙන්ම  කෙතරම් පැරණි වුවත් භාවිතයට ගත හැකි උපකරණ භාවිත කරනු ලබන බවද කළ විමසීමකදී එහි අධ්‍යක්ෂවරයෙකු කියා සිටියේය. 

දේශගුණ විපර්යාස සඳහා බලපාන මානව ක්‍රියා

මිනිසා විසින් සිදු කරන ක්‍රියාකාරකම්, දේශගුණික විපර්යාසයන්ට හේතු සහ බලපෑම්වලට සම්බන්ධ වේ. හරිතාගාර වායු විමෝචනය තුළින් පෘථිවියේ උෂ්ණත්වය ඉහළ නැංවීමට මිනිස් ක්‍රියාකාරකම්වල විභවය විස්තර කර ඇති අතර එය සියවසකට වැඩි කාලයක් තිස්සේ ගණනය කර ඇත. බහුවිධ විද්‍යාත්මක විෂයයන් හරහා විද්‍යාත්මක පර්යේෂණවල වෙළුම් දැන් මෙම මූලධර්මයට සහය දක්වන අතර, 2014 ජාතික දේශගුණික තක්සේරුවෙහි දැක්වෙන්නේ, “ගෝලීය දේශගුණය වෙනස් වෙමින් පවතින අතර පුළුල් පරාසයක නිරීක්ෂණ හරහා මෙය පැහැදිලිව පෙනේ. පසුගිය වසර 50 තුළ ගෝලීය උෂ්ණත්වය ඉහළ යෑමට මූලික වශයෙන් හේතු වී ඇත්තේ මානව ක්‍රියා බව පෙනේ."

මානව ක්‍රියාකාරකම් ගෝලීය දේශගුණික විපර්යාසයන් ඇති කිරීමට හේතු වන බව නියත වශයෙන්ම පෙන්වීම ආරෝපණය පිළිබඳ ගැටළුව දේශගුණික පර්යේෂණයේ වඩාත් ක්‍රියාකාරී අංශයකි. මානව ක්‍රියාකාරකම්, විශේෂයෙන් ෆොසිල ඉන්ධන දහනය කිරීම, වායුගෝලයේ කාබන් ඩයොක්සයිඩ් සහ අනෙකුත් හරිතාගාර වායූන් වැඩි කිරීමට හේතු වන බවට සැලකිය යුතු සාක්ෂි ඇති අතර එමගින් ස්වාභාවික හරිතාගාර ආචරණය වැඩි කරන අතර පෘථිවි වායුගෝලයේ, සාගරයේ සහ ගොඩබිමෙහි උෂ්ණත්වය ඉහළ යයි. හරිතාගාර වායූන් අධෝරක්ත තාපය "උගුලට හසු" කරන බව 1850 ගණන්වල මැද භාගයේදී ශ්‍රීමත් ජෝන් ටින්ඩෝල් විසින් ප්‍රථම වරට බලපෑම මැන බැලූ රසායනාගාර පරීක්ෂණ මගින් තහවුරු කරගෙන තිබේ .

ගැටළුව වන්නේ නූතන මානව ක්‍රියාකාරකම් මගින් ඕනෑවට වඩා හරිතාගාර වායූන් වායුගෝලයට මුදා හැරීමයි. එමඟින් අපේ පෘථිවිය මීට පෙර කිසි දිනෙක අත්විඳ නැති පරිමාණ වේගයකින් ගෝලීය උනුසුම වැඩිවීමට හේතු වේ. අවදානම නම්, එය ගෝලීය පරිමාණයෙන් පෘථිවි වායුගෝලීය හා සාගර චක්‍ර අසමතුලිත කළ හැකි අතර එය අපේ දේශගුණයට ඉතා අනපේක්ෂිත ප්‍රතිවිපාක ගෙන දෙනු ඇත. මෙවන් පසුබිමක රටේ පවතින තත්වයන් සලකා බලමින් දේශගුණ විපර්යාය ඇති විය හැකි මානව ක්‍රියාවන් අවම කර ගැනීමද රටක පුරවැසියන්ගේ වගකීමකි.

කෙසේ නමුත් රටේ මෙන්ම රටේ ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් මෙන්ම රටක ආර්ථිකය කෙරෙහිද සෘජුව බලපෑම් සිදු කරනු ලබන කාලගුණ විපර්යාසයන් සම්බන්ධයෙන් නිසි තොරතුරු රටේ මහජනතාවට නිසි කලට ලබා දීමට අවශ්‍ය වටපිටාව සැකසීම රජයක වගකීමකි. නමුත් අනවශ්‍ය බොහෝ දේවල් වෙනුවෙන් රුපියල් බිලියන ගණනින් මුදල් නාස්ති කරනු ලබන ශ්‍රී ලංකාව වැනි රටක බලධරයින් රටේ ප්‍රමුඛ අවශ්‍යතාවන් කෙරෙහි අවධානය යොමු කර නොතිබීම කණගාටුවට කරුණකි. කෙසේ නමුත් අලුතින් පත්වන කුමන රජයක කුමන නායකයෙකු වුවද පොදු ජනතාවගේ මෙන්ම රටේ ආර්ථික ක්‍රියාවලිය සමබන්ධයෙන් දැඩි බලපෑම් එල්ල වනු ලබන කාලගුණය සම්බන්ධයෙන් නිවැරදි තොරතුරු ලබා ගැනීම වෙනුවෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ පවතින අඩු පාඩු සකසාවි යයි අප බලා පොරොත්තුවෙන් සිටිමු.

හම්බන්තොට රාහුල් සමන්ත හෙට්ටිආරච්චි