’අදාල නැති’ අතීතය හා දේව ගැති අනාගතය‍

’අදාල නැති’ අතීතය හා දේව ගැති අනාගතය‍

21 October 2019 10:13 am

"ඔබ මේ අහන්නේ අතීත සිදුවීම් ගැන නේ. අහන්න අනාගතය ගැන (සිනාසෙයි).. මම ශ්‍රී ලංකාවේ අනාගත ජනාධිපති වීමට උත්සාහ කරන්නේ. ඔබ අනාගතය ගැන අවධානය යොමුකරනවා නම් වඩා හොඳයි (සිනාසෙයි).."

ඒ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපෙක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගිය දිනක පැවති තම කුළුඳුල් මාධ්‍ය හමුවීමේ දී සිදුකළ ප්‍රකාශයකි.

90 දශකයේ අගභාගය හෝ ඊට පසුකාලයක ඉපදුනු දරුවකු හැරුණු විට ගෝඨාභය රාජපක්ෂ මහතා ජනපති වීමට මහජන ඡන්දය ආයාචනා කරන මේ මොහොතේ යමෙකුට සිහිපත් වන්නේ ඔහුගේ අතීත කතා වස්තුව නොවේ නම් ඔහු හෝ ඇය ශ්‍රී ලංකාවේ වාසය කළේ දැයි යන පැණය මතුවීම සාධාරණය. මන්ද ඔහුගේ හෝ ඇයගේ ශරීර ස්කන්ධය පසෙක ලා විඥාණය දශකයක කාලයක් පුරා පැවතියේ කොහේ දැයි යන පැණය ද ඒ සමඟ මතු වන නිසාවෙනි.

රාජපක්ෂවරු පුරා දශකයක් රට පාලනය කළහ. 2009 වර්ෂයේදී තිස්වසරක් මුළුල්ලේ පැවති යුද්ධය නිමා විය. යුධ ජයග්‍රණය අභියස සංවේදී වූ මුළුමහත් ජනයා යුද්ධයේ දේශපාලන නායකත්වය සැපයූ මහින්ද රාජපක්ෂ මහතා හට පිදී ය. රට තුළ සිදුවූ සෑම අක්‍රමිකතාවයක්ම, වංචාවක් ම දූෂණයක් ම යුද්ධයට බැර කළහ. 'යුද්ධය නිසා ඉවසමු' යන තත්ත්වයට නම්‍යශීලී විය. යුධ නිමාවෙන් ද වසර පහක් ගත විය. රට තුළ සංවර්ධනයක් ඇතිවූවාද අප දන්නේ නැත. එහෙත් කොළඹ නගරය නම් අලංකරණය විය.

ගෝඨාභය රාජපක්ෂ මහතා අභියස දිගහැරෙන පැණයන් රාශියකි. රාජපක්ෂ පාලනය තුළ පැවති සුදුවෑන් සංස්කෘතිය, මාධ්‍යවේදීන් අතුරුදන් කිරීම, දියබිඳක් ඉල්ලුවේ යැයි ජනතාවට මහදවාලේ වෙඩි තැබීම, යුධ සමයේ හමුදාවට යටත් වූ දෙමළ වැසියන් ප්‍රාදූර්භූත වීම මින් කිහිපයකි. එහෙත් මේ පිළිබඳ පළමු වරට ඔහු හා මාධ්‍යවේදීන් එකට හිඳගත් කාමරයක් තුළ විමසූ විට ගෝඨාභය රාජපක්ෂ මහතා ලබා දුන් පිළිතුර වූයේ අනාගතය ගැන විමසන ලෙසය. 

රටක් විමතියට පත්කරමින් පසුදිනම ගෝඨාභය රාජපක්ෂ මහතා ගේ මාධ්‍ය ප්‍රකාශක ඩලස් අලහප්පෙරුමද පොඩි තගක් දැමීමට අමතක නොකරයි. ඔහු ගෝඨාභය රාජපක්ෂ මහතා ගෙන් ඇසිය යුතු ප්‍රශ්ණ පිළිබඳ මාධ්‍යයට මාර්ගෝපදේශයක් ඉදිරිපත් කරයි. "අතීතය ගැන අහන්න එපා, ඔහුගේ දේශපාලන දැක්ම ගැන අහන්න.." ඒ ඩලස් මහතා ගේ මාර්ගෝපදේශයයි.

මාධ්‍යවේදීන් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පවුල් ජීවිතය කෙබඳුදැයි විමසුවේ නැත. නිදියහනේ තොරතුරු විමසුවේ නැත. ලෙඩරෝග පිළිබඳ විමසුවේ නැත. මාධ්‍යවේදියකුට සදාචාරයක් පවතින්නේ පුද්ගලයකුගේ පෞද්ගලික ජීවිතය ඉලක්ක කොට ගෙන ප්‍රශ්ණ නෑසීමටයි. එහෙත් එම මාධ්‍යවේදීන් විමසා සිටියේ රටක් කම්පනයට පත්කළ සිදුවීම් සමුදායක වගඋත්තරකාර පාර්ශවයක් ලෙස හා වගකිව යුතු තනතුරක් හෙබවූ හිටපු ආරක්ෂක අමාත්‍යංශ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පදනම් කොට ගෙනය. එසේ ප්‍රශ්ණ විමසීමෙන් වැළකී සිටින ලෙස උපදෙස් දීමට පොහොට්ටුවට ඇති අයිතිය කුමක්ද? මාර්ගෝපදේශය කෙසේ වෙතත්, එම වදන් මුලට "අඩෝ" යැයි පදයක් ද එකතු වූයේ නම් යැයි අපට සිතේ.

 

අනාගතය විමසීම හා ඩ්‍රැකියුලා සිනහව

අනාගතය පිළිබඳ වීමසීමක් සිදුකරන ලෙසයි ගෝඨාභය රාජපක්ෂ පවසා සිටියේ. අනාගතය පිළිබඳ පැණ කිහිපයක් ඉදිරිපත් කිරීමට මාධ්‍යවේදීන් අමතක කළේ නැත. ඇතැම් ඒවාට ගෝඨාභය රාජපක්ෂ මහතා පිළිතුරු ලබා දුන්නේය. එහෙත් ඔහුගේ මානව හිතවාදී පොරොන්දු මල්ල සඳහා මූල්‍ය ප්‍රතිපාදන වෙන්වන්නේ කෙසේදැයි විමසූ විට ඔහු නිරුත්තර විය. අයෙක් රට වැටී තිබෙන ණය කන්දරාව පිළිබඳ විමසන ලදී. ඔහු නැවතත් නිරුත්තර විය. අයෙක් අන්තවාදය හා සංහිඳියාව සාක්ෂාත් කර ගැනීම පිළිබඳ විමසීය. ඔහු මද වේලාවක් බලාගෙන සිට සිනාවක් පා අත වනා අන්තවාදය යනු කුමක්දැයි ශබ්ද කෝෂ නිර්වචනයක් ලබා දුන්නේය. රටක් තුළ ඉතාමත් තීරණාත්මක කරුණු කිහිපයක් පිළිබද මාධ්‍යවේදීන් විමසා සිටීමේදී ඔහු දැක්වූ ප්‍රතිචාරය එයයි. නමුත් අතීතය පිළිබඳ විමසීමේදී ඩ්‍රැකියුලා සිනාවක් පා පවසා සිටියේ අනාගතය පිළිබඳ විමසන ලෙසයි.

කෙසේවෙතත්, ඉතිහාසයේ වරක ෆෙඩ්‍රිකා ජෑන්ස් නම් මාධ්‍යවේදිනිය ස්විට්සර්ලන්ත බලුපැටවා පිළිබඳ කළ විමසීමේදී "උඹ ගූ කන ඊරි" යනුවෙන් ප්‍රතිචාර ලබා දුන් ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම මාධ්‍ය හමුවේදී එලෙස හැසිරුණේ නැත. ඇසූ පැණයකට පිළිතුරු ලබා දිය නොහැකි මොහොතකදී ඩ්‍රැකියුලා සිනාවක් පෑවේය. ඉතිහාසයේ වරක හිටපු යුධ හමුදාපති සරත් ෆොන්සේකා මහතා "එල්ලා මරන" බව පැවසූ ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම මාධ්‍ය හමුවේදී එලෙස හැසිරුණේ නැත. ඒ වෙනුවට අයියණ්ඩි දෙස බැලුවේය. එහෙත් ප්‍රශ්ණ විමසීම හා පසු විපරම කවදත් පිළිකුල් කළ ගෝඨාභය රාජපක්ෂ මහතා මෙදින ද මනාව පිළිඹිමු කළේය. ඔක්තෝබර් 5 වන දින පැවති මහජන වේදිකාවට පැමිණෙන බව පොරොන්දු වී තිබියදී නොපැමිණියේ මන්ද යැයි විමසූ විට ඔහු ලබා දුන් ප්‍රතිචාරය වූයේ, “මම බොහෝ අවස්ථා වලදී මගේ ප්‍රතිපත්ති යෝජනා ඉදිරිපත් කර තිබෙනවා (ඩ්‍රැකියුලා සිනහව නැවතත් මතු කරයි), එබැවින් ප්‍රතිවාදීන් දස දෙනෙකු පමණ සිටින ස්ථානයකට යාමට අවශ්‍ය නැහැ, එතන හුදකලා වීමට අවශ්‍ය නැහැ," යන්නයි.

රාෂපක්ෂ පවුලේ ජනපති අපේක්ෂකයාගේ කුළුඳුල් මාධ්‍ය හමුව සාගරයකට වඩා ළදරු තටාකයක් කිවහොත් වඩා නිවැරදිය. මාධ්‍යවේදීන් ආර්ථික විචාරකයන් නීති විශාරදයින් මහාචාර්යවරුන් වෙත යොමුකරන අන්දමේ ගැටළු කිසිවක් විමසා සිටියේ නැත. ඒ පැණ කිසිවක් රොකට් සයන්ස් නොවීය. අසා සිටියේ ඉතා සරල පැණයන් කිහිපයකි. එහෙත් එම පැණයන් හමුවේ දෙකට තුනට කඩා වැටුණු ගෝඨාභය රාජපක්ෂ මහතා යම් හෙයිකින් මෙරට ජනපති වූවහොත් රට පාලනය කරන්නේ කුමන අන්දමින් දැයි මනා ප්‍රතිරූපයක් මවා පාන ලදී. පොහොට්ටුවේ ජනපති අපේක්ෂකයා ලෙස නම් කළ දිනයේ පටන් රට පුරා ආගමින වන්දනාවේ ගියේ මන්දැයි ඉන් මනාව පැහැදිලි විණි. කිසිදු විටක මාධ්‍ය හමුවක් හෝ මාධ්‍ය ප්‍රශ්ණ කිරීමකට මුහුණ දීමට අකමැති වූයේ මන්දැයි මනාව පැහැදිලි විණි. තම අභ්‍යන්තර දාර්ශනිකයා කළඑලි බැස්සේ පාලිත තත්ත්ව යටතේ හෙබවූ මාධ්‍ය ආවරණයක් තුළ පමණි. කැමරාව, හඬ පාලනය, මයික්‍රෆෝනය, ප්‍රේක්ෂකාගාරය.. මේ සෑම දෙයකම පාලිත තත්ත්වයක් යටතේ පමණි. බලාගෙන කියවීම හෝ කටපාඩම් කර කියවීම සඳහා ගෝඨාභය රාජපක්ෂ මහතා රුසියෙකි. එතැනින් ඔබ්බට ගෝඨාභය රාජපක්ෂ මහතා වෙතින් පිරිනමනු ලැබුවේ සොඳුරු ඩ්‍රැකියුලා සිනහවක් පමණි.  

කණාමැදිරියකුට එළිය විහිදිය හැක්කේ රාත්‍රියේදී පමණි!


අනාගත ශ්‍රී ලංකාවේ ජනපති

පාලිත මාධ්‍ය ආවරණය අතින් ප්‍රතිවාදියා ද දෙවෙනි නැත. සජිත් ප්‍රේමදාස හා ඔහුගේ විසිළුකරුවන් කැළ ද සැලසුමකින් තොරව පැමිණෙන්නේ නැත. හර්ෂ ද සිල්වා මෙයට කදිම නිදසුනකි. ඔහු දෙන පිළිතුරු දුටු විට අපට නම් සිහිවන්නේ ගොතම් නගරයේ බැට්මෑන්ගේ පරම සතුරු ජෝකර් ය. පවසන්නේ විසිළුවකි. එහෙත් වචන උච්ඡාරණය අතිශය බැරෑරුම් ය. ෆුල් සීරියස් ය. පවසන කිසිදු දෑක ඉවත ලෑමට දෙයක් ඇත්තේ නැති සැටියකි. වරක ගෝඨාභය රාජපක්ෂ මහතා අනුරාධපුර තම මංගල ජනරැළිය අමතමින් ප්‍රතිඥා දී සිටියේ තමා බලයට පැමිණ පසුදා, එනම් 17 වන දින වන විට අසාධාරණ ලෙස සිරගත කොට ඇති රණවිරුවන් නිදොස් කොට නිදහස් කරන බවය. උච්ඡාරණය අතිශය සීරියස් ය. එහෙත් විහිළුවක් ය. ඔහුගේ මාධ්‍ය හමුවේදී කොපමණ රණවිරුවන් පිරිසක් මෙසේ අසාධාරණ ලෙස සිරබත් කන්නේ දැයි මාධ්‍යවේදියෙක් විමසීය. ඔහු නිරුත්තර විය. ඒ ඇතැම් විට, 2015 වර්ෂයේ සිට මේ වන තුරු හමුදා නිලධාරීන් 48 දෙනෙකු රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවත්, මේ වන විට 41 දෙනෙකුම ඇප මත මුදා හැරි බවත්, දැනට ඉතුරුව සිටින්නේ සත් දෙනෙකු පමණක් බවත් ඔහු නොදන්නා නිසා විය යුතුය.

අපරාධකරුවකුට ජනාධිපති සමාව ලබා දීමේ බලය ජනපතිවරයකුට හිමිවේ. එහෙත් කිසි විටක නිදොස්කොට නිදහස් කිරීමේ බලයක් නොපවතී. එම බලය හිමිවන්නේ අධිකරණ විනිසුරුවරයකුට පමණි. ඉදින් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ වදන් ද ගොතම් හි ජෝකර් ට සමාන නොවේද? ඔබ ජෝකර් යනු කුමන අන්දමේ පුද්ගලයකු දැයි නොදත් නම් අප එයද පවසන්නම්. මිනිසකු හරහා පෑනක් අතුරුදන් කරවීමේ ඇස්බැන්දුමක් කරනා බව ඔහු පවසයි. පසුව පෑන පොලිස් නිලධාරියකුගේ මුහුණ විනිවිද යන සේ ඔබා ඔහුව ඝාතනය කොට "ටඩා! මම පෑන අතුරුදන් කරා!" යැයි ප්‍රීති ඝෝෂා පවත්වයි.


ගෝඨා ලොජික් 

ගෝඨාභය රාජපක්ෂ මහතා බලය ලද සැනින් රට පාලනය කිරීමට සැරසෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමිනි, නීතිය උල්ලංඝනය කරමිනි, ජනපතිවරයකු හට කිසිදා නොහිමි බලතල භාවිතා කරමිනි. ගෝඨාගමනයක් තුළ මෙවන් පහත් ව්‍යවස්ථා උල්ලංඝනයකට එරෙහි නීතීඥයකු හෝ විනිසුරුවරයකු සටන් කළහොත් එය රාජද්‍රෝහි ක්‍රියාවක් වනු නොඅනුමානය. සිරබත් කා අවසාන වන්නේ නම් ලොකු දෙයකි. ගෝඨාභය ගේ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කරන ශ්‍රී ලංකා නීතීඥයින් ගේ සංගමය ද හොවා දක්වන්නේ එකඳු කරුණකි. ගෝඨාභය රාජපක්ෂ බලයට පැමිණ ඔහුටම ආවේණික අධිකරණයක් විනිසුරු මණ්ඩලයක් පත්කරනා විට 'එහෙයි සර්' යනුවෙන් නකුට වනා පසෙකට වීම පමණි! ගෝඨාගමනයක් තුළ සිදුවනු ඇත්තේ තමාගේ රුචිකත්වයට අනුව රට පාලනය කිරීමකි. 

ගෝඨාභය රාජපක්ෂ ගෙන් ප්‍රශ්ණ විමසිය යුතු ආකාරය පිළිබඳ මාර්ගෝපදේශ ඉදිරිපත් කළ ඩලස් අලහප්පෙරුම මහතා පැවසූ දෙයක් විය. එනම් ගෝඨාභය රාජපක්ෂ මහතා කළු සුදු වෙන් කරනා බවයි. ඔව්! එය නම් සැබෑවකි. මර්වින් සිල්වා ගේ පුත් මාලක සිල්වා හමුදා බුද්ධි අංශ නිලධාරී මේජර් චන්දන ප්‍රදීප් මහතා හට පහරදුන් අවස්ථාවේ සර්වබල යුධ දේවතාණෝ ගෝඨාභය රාජපක්ෂ මැතිඳුන් දුශ්ට අමාත්‍යංශ පුත්‍රයා රකිමින් අදාල බුද්ධි අංශ නිලධාරීවරයා හංවඩු ගසා සිටියේ තම රාජකාරිය පසෙකලා පෞද්ගලික ආරක්ෂකවරයකු ලෙස හැසිරී ඇති බව චෝදනා නඟමිනි. තමා ජනපති වූ පසු රණවිරුවන් නිදොස් කොට නිදහස් කරන්නේ යැයි ගෝඨාභය රාජපක්ෂ මහතා මේ උදම් අනන්නේ බීමට දියබිඳක් ඉල්ලුවේ යැයි රතුපස්වලදී නිරායුධ සිවිල් ජනතාව වෙඩිතබා ඝාතනය කිරීමේ චෝදනා මත සිරගත වී සිටින හමුදා නිලධාරීන් සිව් දෙනෙකු ද ඇතුළුව විවිධ අපරාධ චෝදනා මත සිරගත වී සිටින පුද්ගලයන් පිළිබඳවය. ගෝඨා ලොජික් අනුව නිරායුධ සිවිල් වැසියන් (පාසල් දරුවන් ද ඇතුළුව) අපරාධකරුවන්ය, ඔවුන් වෙඩි තබා ඝාතනය කළ හමුදා නිලධාරීන් යුධ වීරයන් ය. හමුදා නිලධාරියකුට පහර දුන් මාලක සිල්වා යුධ වීරයෙකි, එයින් පහර කෑමට ලක්වූ මේජර්වරයා අපරාධකරුවෙකි. 


කළු සහ සුදු

ACSAසහ SOFA ගිවිසුම් මෙන් වෙනත් පුද්ගලයන් ගිවිසුම් නවීකරණය කිරීමට තැත් කිරීම මඟින් අධිරාජ්‍යවාදය පෝෂණය කිරීම කළු අන්තය නම්, ගෝඨාභය රාජපක්ෂ ජාතික ස්වෛරීභාවය නවීකරණය කිරීම සුදු අන්තය විය යුතුය. ඇමරිකා එක්සත් ජනපදය හා ශ්‍රී ලංකාව අතර එකී ගිවිසුම් දෙක මුල්ම වරට අත්සන් තැබුණේ චන්ද්‍රිකා මැතිණිය ගේ සමයේදී ය. එය මහින්ද රාජපක්ෂ පාලන සමයේදී නවීකරණය විය. එවිට කිසිවකුත් එකී ගිවිසුම් වලට විරෝධය පා ගෝරනාඩු දුන්නේ නැත. එකී ගිවිසුම් මෙම වසරේදී ද නවීකරණය කිරීමට ඉදිරිපත් වූ විට 'දේශප්‍රේමී' පොහොට්ටු පක්ෂය ගෝරනාඩු දුන්නේ රනිල් වික්‍රමසිංහ ශ්‍රී ලංකාව ඇමරිකාවේ යුධ කඳවුරක් බවට පත් කිරීමට යනවෝ කියා ය. ඉන්දියන් සාගරයේ යුධ කඳවුර කිරීමට තැත් කරන්නේ කියා ය. පොහොට්ටු දේශප්‍රේමියෝ මෙම මහා පාවාදීම නතර කිරීමට STOP USA නමින් සංවිධානයක් ද පිහිටුවා ගත්හ. 

වරක වීරවංශ පාර්ලිමේන්තුව තුළ ගෝරනාඩු දෙමින් පවසා සිටියේ ශ්‍රී ලංකාව මෙම ගිවිසුම් වලට එරෙහිව ක්‍රියා නොකරන්නේ නම් නැවත හැරීමක් නොමැති බවය. ඔහුගේ උන්මාදයේ සහකරු ගම්මන්පිල අනතුරු අඟවා සිටියේ රටේ අභ්‍යන්තර කටයුතු වලට මැදිහත් නොවන සහචරයින් සොයා ගැනීමට කාලය පැමිණ තිබෙන බවටත්, එකී ගිවිසුම ක්‍රියාත්මක වන්නේ නිශ්චිත කාලසීමාවක් සඳහා පමණක් වූවද, කාලසීමාව අවසාන වූ විට ඇමරිකාව භූමියෙන් ඉවත් වීම ප්‍රතික්ෂේප කළහොත් සිදුවන්නේ කුමක්ද කියාත් ය. මෑතක් වන තුරුම ශ්‍රී ලාංකීය-ඇමරිකානු පුරවැසියකුව සිටි ඔවුන්ගේ ආදරණීය ජනපති අපේකෂකයා ගෝඨාභය රාජපක්ෂ මහතා තම සගයන් මෙසේ ඇමරිකානු ආක්‍රමණයක් පිළිබඳ ගෝරනාඩු කරනා විට නිහඬව බලා සිටියේය.

ACSA සහ SOFA ගිවිසුම් ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට කෙසේ බලපාන්නේ දැයි විමසූ විට ගෝඨාභය රාජපක්ෂ මහතා ලබා දුන් පිළිතුර ද අපට සිහිවේ. ඔහු පවසා සිටියේ එයින් කිසිදු බලපෑමක් සිදු නොවූ බවත්, එම ගිවිසුම වසර දහයක් පුරා පැවති බවත්, එයින් සිදුවූයේ රටට වාසියක් මිස ඇමරිකාවට වාසියක් නොවන බවත් ය. එසේ කියමින් සිනාසීය. මෙකී අදහස් ප්‍රකාශ කරනා විට වීරවංශ හා ගම්මන්පිළ ද එම මාධ්‍ය හමුවීමට සහභාගී වී සිටියහ. එහෙත් පෙර කී පාර්ලිමේන්තු ගෝරනාඩුව මෙහිදී දක්නට තිබුණේ නැත. ගෝඨාභය රාජපක්ෂ ඉදිරිපත් කළ අදහස් තමන් ඉදිරිපත් කළ අදහස් වලට මුළුමනින්ම පරස්පර විරෝධී බව දැන දැනත් එකඳු වචනයක් පවසා සිටියේ නැත. තම ආදරණීය නායකයා ගේ වදන් 'එහෙයි සර්' මෙන් විඳ දරාගෙන බලා සිටියහ. රාජපක්ෂවාදී STOP USA  සංවිධානයට ස්තූති වන්නට ඇමරිකාවේ Millennium Challenge Corporation අරමුදල ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් සය මසකට කල්දමනු ලැබීය. දේශප්‍රේමී රාජපක්ෂවාදීන්ට පින්සිදු වන්නට ශ්‍රී ලංකාවට ලැබෙන්නට තිබූ ඇමරිකාන් ඩොලර් මිලියන 480ක් ද ඉන් අහිමි විය.

අනාගත ශ්‍රී ලංකාවේ ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා මීට මසකට පමණ ඉහතදී අමුතුම වැඩකට අතගසා ඇති බවට ද තොරතුරු වාර්තා වේ. පසුගිය සැප්තැම්බර් 26 වන දින ගෝඨාභය හා මහින්ද රාජපක්ෂ මහත්වරුන් SLECC (Sri Lanka Exhibition and Convention Centre) මධ්‍යස්ථානයේ පැවති කපුවන්, කට්ටඩියන්, ජ්‍යෝතිශඥයන් ආදී පුද්ගලයන් සහභාගී වූ ශාන්තිකර්මවේදීන්ගේ ජාතික සම්මේලනය නම් හමුවකට සහභාගී වී ඇත. වාර්තා වන තොරතුරු වලට අනුව, එහිදී රාජපක්ෂ දෙසොහොයුරෝ එකී පුද්ගලයන් හට පොරොන්දු වී ඇත්තේ තමා බලයට පැමිණි පසු මොවුන් දෙවියන්ගේ මිනිසුන් යැයි නිලවශයෙන් හඳුනා ගන්නා බවත්, එය නිල වශයෙන් වෘත්තියක් බවට පිළිගන්නා බවත්, වෙනම හැඳුනුම්පත් ලබා දෙන බවත් සංස්කෘතික අමාත්‍යංශය යටතේ ලියාපදිංචි කරවන බවත් ය. මීට අමතරව එකී දෙවියන්ගේ මිනිසුන් හට වෙනමම පරිපාලන ඒකකයක් ද පිහිටුවීමට පොරොන්දු වී ඇත. මෙම මිත්‍යා විශ්වාස දේශපාලිනීකරණය වීමත් සමඟ රට ඇදගෙන යන්නේ කුමන අතකට ද? හයිටියේ දුවලියර් ගේ පාලනයට ද?

එය ගෝඨාභය රාජපක්ෂ මහතා පවසන අනාගතයෙන්ම විමසා දැනගන්න.. විකෘතිය විනය වූ, අවනීතිය නීතිය වූ, නීතියේ රැහැනින් පැන යාම යුක්තිය වූ, මිත්‍යාව දැනුම වූ අනාගතයෙන් ම විමසා දැනගන්න. 


'අදාල නෑනේ' ප්‍රතිපත්තිය හා දේවබල ජනපති ධූරය

ගෝඨාභය රාජපක්ෂ මහතා හට ව්‍යවස්ථාමය විධිවිධාන පිළිබඳ එතරම් දැනුමක් නොමැත්තේ හා ඒ පිළිබඳ උනන්දුවක් ඇත්තේ ද නැති බව පැහැදිලිව පෙනී යයි. පශ්චාත් 19 වන ව්‍යවස්ථා සංශෝධිත ජනාධිපති ධූරය ඔහු දකින්නේ අමුතුම ආකාරයකිනි. විධායක ජනාධිපති ධූරයේ බලතල බොහොමයක් ඒ තුළින් ඉවත්ව ගිය බව ඔහු අමතක කර ඇත. නැතහොත් ඔහුට එය අදාල නැත. ඔහු ජනාධිපතිධූරය දකින්නේ සර්වබලධාරී දෙවියකුගේ තනතුරක් ලෙසය. ව්‍යවස්ථාවට නතු නොවූ නිරපේක්ෂ තනතුරක් ලෙසය. අධිකරණය, විධායකය හා ව්‍යවස්ථාදායකය යනාදී රාජ්‍ය ශාඛා තුනටම අධිපති ඔහු ලෙසය.

ගෝඨාභය රාජපක්ෂ මහතා ගේ දේවබල ජනාධිපතිධූරය කරා ළඟාවීමේ සිහනයට හරස් කැපීමට සිටින එකම පුද්ගලයා වන්නේ ඔහුගේ වැඩිමහල් සොයුරා වන මහින්ද රාජපක්ෂ මහතා විය හැකිය. බැසිල් රාජපක්ෂ මහතා ට අනුව මහින්ද රාජපක්ෂ යනු දේශයේ අධ්‍යාත්මික නායකයා ය. ඔහු 2019.10.13 වන දින ද හින්දු පුවත්පතට කළ ප්‍රකාශයක් අනුව ඔවුන්ගේ ජනපති අපේක්ෂකයා කවුරුන් වූවද, ශ්‍රී ලංකාවේ මීලඟ නායකයා කවරකු වූවද, ඔවුන්ගේ සදා නායකයා මහින්ද රාජපක්ෂ මැතිතුමා ය. ඔහු අග්‍රමාත්‍ය ලෙස පත්වී රජයේ ප්‍රධානියා වන බව බැසිල් රාජපක්ෂ මහතා පවසා ඇත. 

මහින්ද රාජපක්ෂ මහතා ලෞකික තලයේ සිට පූජනීය තලය දක්වාත්, මහාරාජානෝ අභිෂේකයේ සිට දේශයේ අධ්‍යාත්මික නායකයා දක්වාත් සංක්‍රමණය වීම රාජපක්ෂවරුන්ගේ අසීමිත ආත්ම ගෞරවයේ තාර්කික නිගමනයයි. එහෙත් ගෝඨාභය රාජපක්ෂ මහතා ගේ යෝජිත නාමික ජනපතිධූරය තම සොහොයුරාගේ අධ්‍යාත්මික අග්‍රාමාත්‍ය ධූරය හා සැසඳීමක් නොවන කළ බල කේන්ද්‍රයේ අසුන දැරීමට බදින රාජපක්ෂ පොරයක් නුදුරේදීම දැකගත හැකි වනු ඇත. එහෙත් ඔව්, ඒ මෙම ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා ජයග්‍රහණය කළහොත් ය.

ඒකාධිපති අභිප්‍රාය, පවුල් පාලනය, ජනප්‍රියතාවාදීත්වය, ප්‍රචණ්ඩකාරී, අධිපතිවාදී, 'කුඩු කරනවා යකෝ' බඳු ආකල්ප, තාක්ෂණයේ හිනිපෙත්තට දිව ගිය ලොවක් තුළ මිථ්‍යා විශ්වාසවල ගැඹුරින් මුල්බැස ගත් මමයි රජා ධනවාදයට නතුවීමට නියමිත අනාගත ශ්‍රී ලංකාවේ අනාගත ඉරණම කෙබඳු වේ දැයි පැවසීමට කිසිවකුත් නොදනී. මහින්ද රාජපක්ෂ ජනපති වූ සමයේ ඔහුගේ වදන් ඔහුගේ සොයුරන්ගේ නීතිය බවට පත්ව තිබිණි. එහෙත් බාල සොයුරු ගෝඨාභය රාජපක්ෂ ජනපති වූවහොත්, ඔහුගේ වදන් පැමිණෙන්නේ කාගේ නීතියට අනුවද? එවිට අගමැති වන වැඩිමහල් සොයුරු මහින්ද රාජපක්ෂ ගේ නීතිය ද? කමල් ගුණරත්න, මොහාන් විජේවික්‍රම සහ චගී ගාල්ලගේ වැන්නන් දිනේෂ් ගුණවර්ධන, කෙහෙලිය රඹුක්වැල්ල සහ ඩලස් අලහප්පෙරුම වැන්නන් සමඟ බල පොරයේ යෙදෙන විට කුමක් සිදුවේද? සර්වබලධාරී දේව ජනපති හා අධ්‍යාත්මික අග්‍රාමාත්‍ය ගේ හමුදාවන් අතර පොරපිටියක් බවට මාතෘභූමිය පත්වනු ඇත් ද? 


මැතිවරණය කෙබඳු වේද?

මේ අනාගතය දේශයේ නොවැළැක්විය හැකි ඉරණමද? තවමත් නැත. මැතිවරණය තවමත් විවෘතව පවතී. 2015 හෝ 2010 දී පැවති අන්දමට පැහැදිලි ජයග්‍රහකයකු පිළිබඳව ද පුරෝකතනය කළ නොහැක. මේ වන විට ගෝඨාභය රාජපක්ෂ පෙරමුණ ගෙන සිටින බවට බැලූ බැල්මට පෙනේ. එහෙත් ඔහුගේ ස්වභාවය සහ ඔහුගේ දේශපාලනය දෙස විපරම් කරන විට, ඔහුගේ ජයග්‍රාහී මාවත කෙටියෙන් කිවහොත් අතිශය පටු ය. ඔහුට කිසි විටෙකත් සුළුතර ප්‍රජා මනාප යොදාගැනීම හැර වෙන කිසිදු විකල්පයක් නැත. ශ්‍රීලනිපයේ ඡන්ද මුළුමනින්ම දිනා ගැනීමට ඔහු අපොහොසත් වන්නේ නම් ඔහුට ජයගැනීම පිළිබඳ අර්බුදයක් මතුවේ. ශ්‍රීලනිපයේ ඡන්දයෙන් බහුතරයක් (50% හෝ ඊට වැඩි) දිනා ගැනීමට අපොහොසත් වුවහොත් පරාජයට පත්වීමට අවදාමක් පවතී. ශ්‍රීලනිපයේ ඡන්දයෙන් 30% ට වඩා අඩු ඡන්ද ප්‍රතිශතයක් ලබා ගන්නේ නම් නිසැකවම ඔහු පරාජයට පත්වනු ඇත.

2018 ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ යම් ඡන්ද ප්‍රතිශතයක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙත හිමිවනු ඇත, නමුත් එය කොපමණ වනු ඇත්ද යන්න මැතිවරණය අවසන් වන තෙක් හෙලිනොවනු ඇත. කෙසේවෙතත්, 2018 දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඡන්දය ලබා දුන් අයගෙන් බහුතරයක් 2019 දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ඡන්දය ලබා නොදීමට වැඩි ඉඩකඩක් පවතී. රාජපක්ෂවාදී ශ්‍රීලනිප පාක්ෂිකයන් කිසිවකුත් දැන් ශ්‍රීලනිපයේ නැත. ඉතිරිව සිටින්නන් බොහෝවිට බණ්ඩාරනායකවාදීන් ය. නැතහොත් වාමවාදී මධ්‍යස්ත මත දරණ ඒකාධිපති මමයි රජා ප්‍රතිපත්තිය ප්‍රතික්ෂේප කරන පාක්ෂිකයන් ය. සජිත් ප්‍රේමදාස හට ශ්‍රී ලංකා නිදහස් පාක්ෂික ඡන්ද 75% කට වඩා, හා සුළුතර ප්‍රජා ඡන්ද 75% කට වඩා ලබා ගත හැකි නම්, ඔහුට නිසැකවම ගෝඨාභය රාජපක්ෂ පරාජය කළ හැකිය. 

කෙසේවෙතත්, දෙපිරිසම පවසන්නේ සීරියස් විහිළු බව පැහැදිලිය. ගෝඨා මරණය පාදක කොටගත් සීරියස් විහිළු පවසයි. සජිත් ප්‍රජාතන්ත්‍රවාදය පාදක කොටගත් සීරියස් විහිළු පවසයි. මෙම විහිළුකරුවන් දෙදෙනා එකිනෙකින් වෙනස් වන්නේ එක්අයෙකු මිනිසෙකුගේ ජීවිතය තුරන් කිරීම පාවහනෙන් මකුළුවකු චප්ප කර දමන තරමට සරලව තැකීම තුළිනි. විවිධ විකල්ප දේශපාලන ධාරා වෙත ඡන්දය ප්‍රකාශ කරන ජනතාව ඔවුන්ගේ දෙවන ඡන්දය තමා වෙත ප්‍රකාශ කරන මෙන් පොළඹවා ගැනීමට සජිත් ප්‍රේමදාස සමත් වන්නේ නම් නිසැකවම ඔහුට ගෝඨාගමනයක් වැළැක්විය හැකිය. සජිත් ප්‍රේමදාස ඔහුගේ ලැජ්ජා සහගත ක්‍රියාකලාපය නිසා ප්‍රජාතන්ත්‍රවාදයට නරක නාමයක් ඈඳවිය හැකිය, එහෙත් ඔහු බලයට පත්වූ දිනට පසුදින උදෑසන ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කිරීමට කිසිවටකත් කටයුතු නොකරනු ඇත. සජිත් ට වැරදුනා නම් වැරදුනේ එජාපයේ තම පාර්ශවය පිළිබඳ අධිතක්සේරුවෙන් පසුවීමත්, තම ප්‍රතිවාදියා ව අවතක්සේරුවෙන් තැකීමත් ය.

ගෝල්ෆේස් පිටිය පිරවීමෙන් සජිත් ප්‍රේමදාසගේ ජය තහවුරු වන්නේ නැත. ජාතික ජන බලවේගයේ ජනපති අපේක්ෂක අනුර කුමාර දිසානායක ද ගෝල්ෆේස් පිටිය ලක්ෂ සංඛ්‍යාත ජනයා ගෙන් පිරෙව්වේය. සජිත් ප්‍රේමදාසට ජයග්‍රහණය කිරීමට නම්, පළමුව නාමයෝජනා ලබා ගැනීමට රටක් ඉදිරියේ අශෝභන ලෙස හැසිරෙමින් අජිත් පී පෙරේරා වැන්න වුන් යොදා දුන් පොර ටෝක් ඉදිරියේ දෙකඩ වූ එජාපය ගොඩගත යුතුය. ජනප්‍රියතාවාදයට නතු වූ මානසිකත්වයෙන් මිදී උරණ වූ එජාපය එක්සේසත් කළ යුතුය. තම ඡන්ද කොට්ඨාශය යනු හම්බන්තොට සිංහල බෞද්ධ ජනතාව හා මහා සංඝයා වහන්සේ නොව මුළුමහත් ශ්‍රී ලංකාව බව සිහිපත් කර ගත යුතුය. ඒ තුළ දමිළ, මුස්ලිම්. හින්දු, කතෝලික ආදී ප්‍රජා නියෝජනය පවතින බව සිහිපත් කර ගත යුතුය. ගම්මට්ටමේ බිම්මට්ටමේ බයිලය නොව නගරය ද අදාල බව සිහිපත් කර ගත යතුය.

ශ්‍රීලනිපයේ බහුතර ඡන්දය ද සජිත් ප්‍රේමදාසට හිමිවූයේ යැයි උපකල්පනය කළද, සුළුතර ප්‍රජා ඡන්ද නොමැතිව ජයග්‍රහණය කළ නොහැකිය. ගෝඨාභීතිකාව අභියස සුළුතර ඡන්ද තමා ට හිමිවනු ඇතැයි සජිත් ප්‍රේමදාස සිතන්නේ නම්, ඔහුට වැරදී ඇත. කොටුව අභියස නිරාහාරව වැටී සිටි ආබාධිත සොල්දාදුවන් ගේ කථාංගය තුළින් ම තම සැබෑ ඡන්ද කොට්ඨාශය පවතින්නේ කොහේ දැයි සජිත් ප්‍රේමදාසට අවබෝධ විය යුතුව තිබිණි. ඔහුගේ උපකල්පිත දේශමාමකත්වය හම්බන්තොට තුළද ක්‍රියාත්මක නොවිණි. එක් වරක් හැරුණු විට කිසිදු අවස්ථාවක එජාපයේ ජාතික සාමාන්‍යයට හම්බන්තොට සමාපාත කිරීමට ඔහු සමත් නොවීය. සජිත් ගේ ප්‍රතිපත්තිය බහු වාර්ගික, බහු-ආගමික ශ්‍රී ලංකාවක් තුළ අවාසනාවන්ත ලෙස අසාර්ථකභාවයට පත් වනු ඇත.

 

* මෙම ලිපිය තිසරණී ගුණසේකර විසින් රචිත ලිපියක සිංහල ඡායානුවාදයකි.