මහින්දට චන්ද්‍රිකා බිය. පොහොට්ටුව ශ්‍රීලනිපයේ බ්‍රාන්ච් එකක් විතරක් බවත් කියයි !

මහින්දට චන්ද්‍රිකා බිය. පොහොට්ටුව ශ්‍රීලනිපයේ බ්‍රාන්ච් එකක් විතරක් බවත් කියයි !

21 October 2019 07:25 am

2015 වසරේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්සත් ජාතික පක්ෂය සමඟ ආණ්ඩුවක් පිහිටුවීමට එකඟ වූ අවස්ථාවේදී විපක්ෂයේ කාර්යභාරය ඉටුකිරීම සඳහා තමන් ඇතුළු ශ්‍රීලනිප මන්ත්‍රී කණ්ඩායෙමෙන් කොටසක් වෙන්වූයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අවසරය ඇතිව බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. 

ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (20) අඟුණකොළපැලැස්සේ පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රචාරණ රැළියක් අමතමිනි. 

"ජනතාව අපිව එපයි කියලා කිව්වට පස්සෙ ඇතිවෙච්චි ප්‍රශ්නත් එක්ක ගැටළුත් එක්ක ඔවුන් එක්සත් ජාතික පක්ෂයත් එක්ක සම්බන්ධ වුණාට පස්සෙ අපට සිද්ධ වුණා වෙනම විපක්ෂයට යන්න ජනාධිපතිවරයාගේ අවසරයත් එක්ක. ඒ අවස්ථාවේදී තමයි අපි රට වටේ ගිහිල්ලා පක්ෂයක් වශයෙන් නෙළුම් පොහොට්ටුව ගොඩනැඟුවෙ. 

ඒක නිසා මේක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේම එක බ්‍රාන්ච් එකක් විතරයි. වෙනසකට තියෙන්නෙ අර එජාපය එක්ක අපි එක්කහු නොවුණු එක. ශ්‍රීලනිප අපි දෙගොල්ලො එක්කහු වෙලා තමයි අද මේ තරගයට සූදානම් වෙලා ඉන්නෙ කියන එක මං මතක් කරන්න ඕනෙ. " යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ. 

එසේම නැවතත් දේශපාලනයේ ආන්දෝලනාත්මක චරිතයක්ව සිටින චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියව ද මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී විවේචනය කළේය. 

"දැන් මට අහන්න ලැබුණා අපෙ නෝනා මහත්තයා, පිටරට ඉඳලා චන්ද්‍රිකා මැතිණිය මේ දවස්වල ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරකින්න හදනවාලු සංවිධානයක් හැටියට. ඒක මං හිතන්නෙ සුරැකිලා තියෙන්නෙ, ඒකෙ ප්‍රශ්නයක් නෑ. මේක කඩාකප්පල් කිරීමේ වැඩපිළිවෙලකට ඇවිල්ලා කියලා නම් පැහැදිලිව දැනගන්න තියෙනවා. 

ජනාධිපතිතුමාත් මාත් එක්ක ඊයේ මුණගැහුණු අවස්ථාවේදී මේ ගැන කතා කළා. හැබැයි මට කියන්න ඕනෙ, ශ්‍රීලනිපය මුලින්ම කැඩිලා ගියේ අපි නෙවෙයි. චන්ද්‍රිකා කුමාරතුංග මැතිනියයි, විජය කුමාරතුංග මහත්තයයි. අපි කඩාගෙන ගිහිල්ලා නෙවෙයි. එක්සත් ජාතික පක්ෂයත් එක්ක සම්බන්ධ වුණාට පස්සෙ තමයි අපි පක්ෂයේ ඉඳගෙන විපක්ෂයේ කාර්යභාරය කළේ. " යනුවෙන් ඒ මහතා ප්‍රකාශ කළේය. 

චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියගේ දේශපාලන ශක්‍යතාවන් පිළිබඳ මහින්ද රාජපක්ෂ මහතාට හොඳ වැටහීමක් පවතින හෙයින්ම ඔහු යම් කැළඹීමකින් පසුවන බව මෙහිදී මැනවින් පෙන්නුම් කෙරිණි.