රූකඩ අපේක්ෂකයන් වැඩි වෙන්නෙ ඇයි?

රූකඩ අපේක්ෂකයන් වැඩි වෙන්නෙ ඇයි?

17 October 2019 03:24 pm

මෙවර ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයන් 41 දෙනෙකු සඳහා ඇප තැන්පත් කළ අතර නාමයෝජනා භාරදීමේදී එම ප්‍රමාණය 35 දක්වා අඩු විය. කෙසේ වෙතත් ජනාධිපතිවරණය සඳහා අවම හෝ බලාපොරොත්තු තබාගෙන සිටින්නේ දෑතේ ඇඟිලි දහයටත් වඩා අ‍ඩු අපේක්ෂකයන් ප්‍රමාණයකි.

ඊයේ (16) පැවති මාධ්‍ය හමුවකදී මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සමහර අපේක්ෂකයන් හැඳින්වූයේ පපට්ලා හෙවත් රූකඩ අපේක්ෂකටන් ලෙසයි. එම රූකඩ අපේක්ෂකයන් ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවූයේ නම් අපේක්ෂකයන් ප්‍රමාණය උපරිම 25 දක්වා සීමා වනු ඇති බවයි දේශප්‍රිය මහතා සඳහන් කරන්නේ.

එය එසේ වූවා නම් රටේ මහජන මුදල් මිලියන කිහිපයක් හෝ ඉතිරි කර ගැනීමට හැකිවනු ඇත.

මැතිවරණ කොමිසමේ සභාපතිවරයා‍ගේ ප්‍රකාශයට අනුව එක් ප්‍රධාන අපේක්ෂකයෙකුගේ රූකඩ අපේක්ෂකයන් ප්‍රමාණය පහකි. තවත් අපේක්ෂකයන් දෙදෙනෙකුට රූකඩ අපේක්ෂකයන් තිදෙනා බැගිනි.

ජනාධිපති අපේක්ෂකයන් මැතිවරණ කොමිසම සමග සිදු කරන ලිඛිත ගනුදෙනුවලදී අපේක්ෂකයන් කිහිප දෙනෙකුගේ ලිපි එකම කවරයක බහා කොමිසම වෙත ලබාදෙන තත්වයට පත්ව ඇති බවත්, මෙය මෙවැනි විහිළු සහගත තත්වයකින් තවදුරටත් සිදුවන්නේ නම් එම රූකඩ පිළිබඳ තොරතුරු මහජනතාව වෙත හෙළි කිරීමට සිදුවන බව ද මහින්ද දේශප්‍රිය මහතා පවසනවා.

රූකඩ අපේක්ෂකයන් භාවිතා කිරීමේ මූලික අරමුණ වන්නේ ඡන්ද මධ්‍යස්ථානවල සහ ගණන් කිරීමේ මධ්‍යස්ථානවල සිය නියෝජිතයන් ප්‍රමාණය වැඩිකර ගැනීමයි. මෙහි භයානක තත්වය වන්නේ මැතිවරණ ක්‍රියාවලිය සම්බන්ධයෙන් දේශපාලනඥයන් පවා පූර්ණ විශ්වාසයෙන් කටයුතු නොකරන බවයි. එය එසේ නම් මෙම දේශපාලනඥයන් පිළිබඳව ඡන්දදායකයන් විශ්වාසය තබන්නේ කෙසේද යන්නයි.

රූකඩ අපේක්ෂකයන් භාවිතා කිරීමේ තවත් අරමුණක් වන්නේ සිය ප්‍රතිවාදී අපේක්ෂකයාගේ නමට සමාන නමකින් හෝ ඡන්ද සළකුණට සමාන සළකුණකින් හෝ අපේක්ෂකයන් ඉදිරිපත් කොට ප්‍රතිවාදී අපේක්ෂකයාට ඡන්දය දැමීමට පැමිණෙන ඡන්දදායකයා රැවටීමයි.

එය පසුගිය ජනාධිපතිවරණයේදී හොඳින්ම පෙණුනු අතර එහිදී තෙවැනි ස්ථානයට වැඩිම ඡන්ද ලබා ගත්තේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නමට සමාන නමකින් ඉදිරිපත් වූ ආර්.ඒ. සිරිසේනය. සිව්වැනි ස්ථානයට පත්වූයේ එජනිස අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතාට සමාන නමකින් ඉදිරිපත් වූ නාමල් අජිත් රාජපක්ෂය.

මෙම අපේක්ෂකයන් දෙදෙනා කිසිදු මැතිවරණ ප්‍රචාරක මෙහෙයුමක නිරත නොවූ අතර ආර්.ඒ. සිරිසේන නම් මහින්ද රාජපක්ෂ මහතා සමග ප්‍රසිද්ධියේ පෙනී සිටියේය.