නාම පුවරුවේත් ජාතිවාදය සොයන අමු ජාතිවාදීන්ගේ වැඩ !

නාම පුවරුවේත් ජාතිවාදය සොයන අමු ජාතිවාදීන්ගේ වැඩ !

17 October 2019 01:21 pm

මෙතෙක් පලාලි ගුවන් තොටුපල ලෙස හැඳින්වූ උතුරේ ප්‍රධාන ගුවන් තොටුපල අද යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපල ලෙස විවෘත කෙරිණි. ඒ අනුව මෙය මෙරට තෙවැනි ජාත්‍යන්තර ගුවන් තොටුපල වේ.

යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපල විවෘත කිරීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එක්ව සිටියහ.

මෙම ගුවන් තොටුපල විවෘත කිරීම භාවිතා කරමින් මෙරට ඇතැම් මාධ්‍ය ආයතන සහ සමාජ මාධ්‍ය ක්‍රියාක‍ාරිකයන් පිරිසක් ජාතිවාදය ඇවිස්සීමට පටන් ගෙන තිබේ. ඔවුන් ගුවන් තොටුපල විවෘත කිරීමට වඩා වැදගත් ප්‍රවෘත්තිය වී තිබෙන්නේ ගුවන් තොටුපලේ නාම පුවරුවේ සිංහල භාෂාවට ඉහළින් ඉංග්‍රීසි භාෂාවෙන් ගුවන් තොටුපලේ නම සඳහන් වීමයි.

නෙත් ගොසිප් වෙබ් අඩවිය මෙය වාර්තා කරන්නේ සිංහල භාෂාව දෙවැනි තැනට දමා ඇතැයි කියමිනි. එම වෙබ් අඩවිය පවසන්නේ මෙය සමාජ ජාලා මාධ්‍යවල දැඩි කතාබහට ලක් වී ඇති බවයි. එහෙත් සත්‍යය නම් නෙත් ගොසිප් මෙවැනි, ජාතිවාදය උලුප්පා දැක්වීමේ කතාවක් ගෙතීමට පෙර සමාජ ජාලා මාධ්‍යවල යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපලේ නාම පුවරුව සම්බන්ධයෙන් දැඩි කතාබහක් නිර්මාණය නොවූ බවයි.

මෙරට ඇතැම් දේශපාලන පක්ෂ, මාධ්‍ය ආයතන, ෆේස්බුක් පිටු ජාතිවාදය ඇවිස්සීම සඳහා ඕනෑම දෙයක් භාවිතා කරයි. ඕනෑම තුප්පහි වැඩක් සිදු කරයි.

මෙයද හැඳින්විය හැක‍්‍කේ එවැනි මාධ්‍ය ආයතනයක තුප්පහි ක්‍රියාවක් වශයෙනි.

අවම තරමින් මෙම තුප්පහි මාධ්‍ය ආයතන සහ සමාජ ජාලා ක්‍රියාකාරිකයන් එක්කෝ රටේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් පිළිගත් රාජ්‍ය භාෂා පිළිබඳව හෝ දන්නේ නැත. එසේත් නැත්නම් දැනගෙනම නොදන්නවා සේ හැසිරෙමින් සිටී.

මෙරට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අනුව සිංහල සහ දෙමළ රාජ්‍ය භාෂා වන අතර එම භාෂා ද්විත්වයටම ඇත්තේ එක හා සමාන වටිනාකමකි, පිළිගැනීමකි. අනෙක් පැත්තෙන් උතුරු නැගෙනහිර පරිපාලන භාෂාව දෙමළ භාෂාව වන බව ද මේ තුප්පහි මාධ්‍ය දැනුවත් නැත.

ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සැළකුවද යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපලේ නාම පුවරුවේ දෙමළ භාෂාවට ප්‍රමුඛතාවය ලබාදීම කිසිසේත් වැරැද්දක් නොවේ.

අනෙක් පැත්තෙන් මෙම ගුවන් තොටුපල පිහිටා ඇත්තේ සාතිශය බහුතර දෙමළ ජනතාවක් වාසය කරන ප්‍රදේශයකයි. ඉදිරියේදී මෙම ගුවන් තොටුපල භාවිතා කරනු ඇත්තේද බහුතර දෙමළ ජාතිකයන් විසිනි. එබැවින් නාම පුවරුවක් ප්‍රදර්ශනය කිරීමේදී අදාල ආයතනය භාවිත කරන පුද්ගලයන් වහරණ භාෂාවට ප්‍රමුඛතාවය ලබාදීම සිහිකල්පනාව සහිත ඕනෑම පුද්ගලයෙකුට සාධාරණීකරණය කළ හැකි කරුණකි.

එහෙත් ජාතිවාදය අවුස්සා තමන්ගේ ස්වාමියාගේ දේශපාලන අරමුණු වෙනුවෙන් ජාතීන් අතර ගැටුම් ඇතිකිරීමට දෑස් දල්වා බලා සිටින මෙවන් තුප්පහි මාධ්‍ය ආයතනවලට ඒවා අදාල නැත. ඔවුන්ට කෙසේ හෝ අවශ්‍ය විරසක වූ ජාතීන් මහ පාරේ කාකොටා ගන්නවා දැකීමයි.

ජාතිවාදය අවුස්සා මැතිවරණ දිනා ගැනීමට බලා සිටින දේශපාලන කණ්ඩායම් මෙම ප්‍රශ්නය ඉදිරි දිනවලදී මැතිවරණ වේදිකාව වෙත ගෙන ආවද අප පුදුම වියයුතු නොවේ. මන්ද නෙත් ගොසිප් මෙම පුවත වාර්තා කරන්නේ ආවට ගියාට ‍නොවේ. මෙම ‍ගොසිප් වෙබ් අඩවි නිර්මාණය කරන කුණු රස ප්‍රවෘත්ති සමාජගත කරන්නේ, ඒවා විටින් විට වමාරා කන්නේ දේශපාලන වේදිකාවල කෑමොර දෙන්නන් හා ෆේස්බුක් පිටු පවත්වාගෙන යන්නන්ය.