ෆොන්සේකාව ආරක්ෂක ඇමති කළ පමණින් ජාතික ආරක්ෂාව තහවුරු වෙන්නේ නැහැ (VIDEO)

ෆොන්සේකාව ආරක්ෂක ඇමති කළ පමණින් ජාතික ආරක්ෂාව තහවුරු වෙන්නේ නැහැ (VIDEO)

17 October 2019 01:04 pm

පාස්කු ප්‍රහාරයෙන් පසු ඉතා පුළුල් ලෙස මතුවූ  ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් වන සංවාදය ජනාධිපතිවරණ සටන් බිමේ ප්‍රබලම මාතෘකාව බවට පත්ව තිබේ. 

විශේෂයෙන් ප්‍රධාන ප්‍රතිවාදීන් දෙදෙනා හමුවේ පවතින අභියෝගය ද ජාතික ආරක්ෂාව තහවුරු කරන්නේ කෙසේද යන්න පිළිබඳ සමාජගත කිරීමය. 

ඒ අනුව එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා තමන්ගේ රජයක් යටතේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් වන සම්පූර්ණ වගකීම ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා වෙත භාර කරන බවට ප්‍රසිද්ධ වේදිකාවේ පොරොන්දුවක් ලබාදුන්නේය. 

තිස් වසරක යුද්ධය ජයග්‍රහණය කරා ගෙන ආ ගමනේ හමුදාපති වශයෙන් සරත් ෆොන්සේකා මහතාගේ කාර්යභාර්ය හා එම මැදිහත්වීම සලකා බැලීමේදී ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් වගකිව හැකි විෂයානුබද්ධව ප්‍රාමාණිකයෙක් ලෙස ෆොන්සේකා මහතා සම්බන්ධයෙන් විවාදයක් නැත. 

එහෙත් එසේ වූ පමණින් සරත් ෆොන්සේකා මහතාට තනිව ජාතික ආරක්ෂාවට වගකිව හැකිද? සරත් ෆොන්සේකාගේ කරමතින් ගොස් ජාතික ආරක්ෂාව නමැති රටේ හෘදය සුරක්ෂිත කරගත හැකිද? 

මේ සම්බන්ධයෙන් තවත් විෂය ප්‍රාමාණිකයෙක් වන දේශකීර්ති,ලංකා පුත්‍ර මේජර් ජනරාල් ආචාර්ය බොනිෆස් පෙරේරා මහතා ලංකා නිවුස් වෙබ් වෙත සංවාදයකට එක්වෙමින් අවධාරණය කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාට ආරක්ෂක ඇමතිධූරය ලබා දීමෙන් පමණක් ජාතික ආරක්ෂාව තහවුරු නොවන බවයි.  

ජාතික ආරක්ෂාව යනු තුවක්කුවකින් වෙඩි තැබීම හෝ ත්‍රස්තවාදීන් අල්ලා කූඩු කිරීමවත් නොවන බව මේජර් ජනරාල් ආචාර්ය බොනිෆස් පෙරේරා මහතා පෙන්වා දුන්නේය.

එය ඉතා විශාල වපසරියක් කරා විහිදී ඇති අතර එය තිස් වසරක යුද්ධය ජයග්‍රහණය කරා ගෙන ආ ක්‍රමවේදය තුළින්ම හඳුනාගත හැකි බව ඔහු පැහැදිලි කළේය. 
 
හමුදාව පෙරටු කරගනිමින් ජනතා යුද්ධයක් බවට පත්වීම තුළ යුධ ජයග්‍රහණය යතාර්ථයක් වූ බව ඔහු පැවසුවේය. 

විශේෂයෙන් එහිදී ලබා දුන් දේශපාලන නායකත්වය මඟහැර යා නොහැකි බවයි මේජර් ජනරාල් ආචාර්ය බොනිෆස් පෙරේරා මහතා සඳහන් කළේ.

"කිළිනොච්චිය අල්ලගත්ත වෙලාවේ ඉන්දියාවේ ප්‍රබලයන් තුන්දෙනෙක් මහින්ද රාජපක්ෂ මහත්මයාට තර්ජනාතමක් ස්වරූපයෙන් ඉල්ලුවා යුද්ධය අතරමඟ නතර කරන්න කියල. නමුත් මහින්ද හැරුණේ නැහැ. ඔහුගේ උත්තරය වුණේ අවශ්‍ය නම් උඹලා අපේ රට ආක්‍රමණය කරපල්ලා. මං දැන් ඉස්සරහට තිබ්බ අඩිය පස්සට ගන්නේ නැහැ."
 
එම තත්ත්වයන් හමුවේ එදා දේශපාලන නායකත්වය බියගුල්ලෙක් වූවා නම් යුද්ධය ජයග්‍රහණය කිරීමට නොහැකි වනු ඇති බවයි හෙතෙම ප්‍රකාශ කළේ. 

ඒ අනුව දේශපාලන නායකත්වය සහ මහජන සහය ජාතික ආරක්ෂාවේදී අතිශය තීරණාත්මක බව බොනිෆස් පෙරේරා මහතා පෙන්වා දුන්නේය 

ආශිකා බ්‍රාහ්මණ