සල්ගාදු පිටියෙන් ඇරඹි හූ ප‍්‍රහාරයේ දේශපාලනය කුමක්ද? - ජයවික‍්‍රම සුරියබණ්ඩාර

සල්ගාදු පිටියෙන් ඇරඹි හූ ප‍්‍රහාරයේ දේශපාලනය කුමක්ද? - ජයවික‍්‍රම සුරියබණ්ඩාර

17 October 2019 11:27 am

ජනාධිපතිවරණය සඳහා විටෙක ඉදිරිපත් වීමටත්, විටෙක මගහැර යාමටත්, තවත් විටෙක සජිත් ප්‍රේමදාසට සහයෝගය දීමටත් ගත් සියලු උත්සාහයන් අසාර්ථක වීමෙන් පසු මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා 'බැරිම තැන' පන්නයේ තීරණයක් ගත්තේය. ඒ පොහොට්ටු සළකුණේ විරසකය අත්හැර දමා ගෝඨාභය රාජපක්ෂ දිනවීම සඳහාය.

සිරිසේන ජනාධිපතිවරයා මේ බැරිම තැන තීරණය ගනු ලැබූයේ සිය ආත්මාරක්ෂාව පෙරදැරිවය. ඒ 2015 ජනවාරි 08 වනදා රාත්‍රියේ ඔහුගේ චිත්ත සන්තානය තුළ ඇතිවූ මාරක සිතුවිලි යළිත් සිහිගැන්වුණු නිසාය. ඒ මිහිමත 'අඩි 06 ක් ගැඹුරින්' සයනය වීමේ අනතුර සහිතවය. පොහොට්ටුවේ නිර්දය ප‍්‍රහාරය හරහා බෙලහීනත්වයට පත්වෙමින් තිබූ ශ්‍රීලනිප දෙබිඩි නායකත්ව මණ්ඩලය දෛනිකව පොහොට්ටු දේශපාලනය තුළ සිරගත වද්දී, සිරිසේන ජනාධිපතිවරයා ඇතුළු අවසන් දැඩි මතධාරීන් අන්ත අසරණභාවයකට ගොදුරු වූයේ, ගෙවී යන දිනයක් පාසා සිය අනාගත දිවිය අනාරක්ෂිත වෙමින් තිබූ යථාර්ථයක් තුළය. පොදුජන පෙරමුණු-ශ‍්‍රීලනිප එකඟතාවයේ කටුක සත්‍යය මෙයයි.

අප කියා සිටිනා දේ සනාථ වුයේ පසුගිය ඔක්තෝබර් 09 වනදා අනුරාධපුර සල්ගාදු පිටියේදීය. ඒ සිය ආත්මාරක්ෂාවේ දේශනය ඉදිරිපත් කිරිම සඳහා දුමින්ද දිසානායක ඇමතිවරයා වේදිකාව මත දෙපයින් සිටගත් අවස්ථාවේදීය. ඉතාමත් ජුගුප්සාජනක ලෙස එල්ලවූ හූ ප‍්‍රහාරය සහ නින්දා වර්ෂාව දුමින්ද දිසානායක කිසිසේත් අපේක්ෂා කළ දෙයක් වූයේ නැත. නමුත් වේදිකාවේ අසුන්ගෙන සිටි පොහොට්ටු නායකයින්ට සිදුවීම විශේෂයක් වූයේ නැතුවා පමණක් නොව, සිදුවන දේ පාලනය කරන්නට තරම් විශේෂ වුවමනාවක් තිබුනේද නැත. 'ජනමිත‍්‍ර හඬ' අප වියමන වෙතට එනුයේ මෙකී සිදුවීම පිටුපස ඇති දේශපාලනය කුමක්දැයි යන්න අනාවරණය කිරීම සඳහාය.

2015 ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ ලද පරාජයෙන් ඉක්බිතිව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේනට ලොතරැයි දිනුමක් යැයි සිතු දේශපාලන අවස්ථාවක් උදාවූයේය. ඒ ශ්‍රීලනිපයේ සභාපති ධුරය සිරිසේන ජනාධිපතිරවයා වෙත තිළිණ වෙමිනි. තමන් ලද ලොතරැයි දිනුම තුළ සැඟවී තිබූ මාරාන්තික දේශපාලන මරඋගුල හඳුනාගත නොහැකි වූ සිරිසේන ජනාධිපතිවරයා එතැන්සිට වහසි බස් දොඩවන්නට වූයේ අනාගතයේ දිනෙක හදනා තනි ශ‍්‍රීලනිප ආණ්ඩුවක් ගැනය. තනි ශ‍්‍රීලනිප ආණ්ඩුවක් අරබයා ජනාධිපතිවරයා උමතුභාවයට පත්වීමේ ප‍්‍රතිඵලයක් ලෙස ඔහු විසින් 2015 ජනාධිපතිවරණයේ පොදු අපේක්ෂකයා ලෙස අල්ලා ගත් එජාප අත්ත අතහැරියේය.

පසුගිය ඔක්තෝබර් 09 වනදා දුමින්ද දිසානායක සල්ගාදු පිටියේදී කතා කරන්නට නැගී සිටියේ තමන්ට පය ගැසූ අත්තක් තිබේය යන විශ්වාසයෙනි. නමුත් පොහොට්ටු දේශපාලනයේ සංවිධානාත්මක අනුදැනුම සහිතව එල්ලවූ නින්දා සහගත ප‍්‍රතිචාරය හරහා ප‍්‍රකාශ වුයේ ශ‍්‍රීලනිපයට අල්ලා සිටි එජාප අත්ත පමණක් නොව, පය ගසන්නට පොහොට්ටු අත්තක්ද නැති බව මිස අන් යමක් නොවේ. ශ‍්‍රීලනිපය හා පොහොට්ටුව අතර ගිවිසුම් අත්සන් කරන ලද්දේ දේශපාලන සංදර්ශනයක් ලෙස මිස, කිසි ලෙසකින් වත්, සමාන සහෝදරාත්මක බැඳීමක් සහිතව නොවේ. ඡන්ද ලකුණ සම්බන්ධයෙන් දෙපාර්ශ්වය අතර තිබුනාවූ නොගැළපීමේදී පොහොට්ටුවේ දේශපාලනය අඩියක් පසුපසට ගත්තේ නැත. ඒ, 'නුඹලා කළ යුත්තේ කුමක්දැයි යන්න තීරණය කරණුයේ අප මිස නුඹලා නොවේ'ය යන අයෝමය ස්ථාවරයක පිහිටාය. 

ජනාධිපති සිරිසේන බැරිම තැන දේශපාලනයට පිවිසියේ මෙවන් යථාර්ථයක් තුළය. ඒ තමන්ගේ සහයෝගයෙන් තොරව ගෝඨාභය රාජපක්ෂ බලයට පත් වුවහොත් එතැන් සිට එළඹෙනා තත්වයන් බොහෝ නපුරුවීමට නියමිතව තිබෙනා බව මැනවින් දැන සිටිනා නිසාය. ඒ අනුව ශ‍්‍රීලනිප-පොදුජන පෙරමුණු සන්ධානයක් ගොඩනැගී ඇතැයි යමෙකු කියා සිටිනුයේ නම්, එය අමූලික බොරුවකි. සිදුවී තිබෙනුයේ දැවන්ත යටත් කිරීමක් පමණි. ඒ පොහොට්ටු දේශපාලනයේ අත්තනෝමතික බලපරාක‍්‍රමයක් පෙන්වා සිටිය. ශ‍්‍රීලනිපයේ නායකත්වය විසින් සිය ජීවිතාරක්ෂාව වෙනුවෙන් ශ‍්‍රීලනිපය පොහොට්ටුවේ දාසභාවයක් දක්වා ගමන් කරවා අවසන්ය.

පංච මහා බලවේගයක මතකයන් සහිත ශ‍්‍රීලනිප පාක්ෂිකයා හට පොහොට්ටුවේ දේශපාලනය තුළ බරපතල වෙනසක් පෙනෙනුයේ එය ශ්‍රීලනිප-වාමාංශික සහයෝගී ඉතිහාසයකින් බිදී යමින් අන්ත දක්ෂිණාංශික ජාතිවාදී ප‍්‍රවණතාවයක් දක්වා ගමන් කරමින් තිබෙනා නිසාය. ඒ ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවට අත්තනෝමතිකත්වය වෙත වැඩි බර තැබීමක් සහිතවය. සිය බල කෑදර නායකයින්ගේ දේශපාලන නොපනත්කම්හි ගොදුරු බවට පත්ව සිටිනා ශ‍්‍රීලනිප පාක්ෂිකයා සිය නායකත්වය පොහොට්ටුව සමග ගිවිසුම් අත්සන් කිරීමෙන් පසුද, ඇල්පිටිය පුංචි ඡන්දයේදී තවදුරටත් උත්සාහ දරමින් සිටිනුයේ තමන්ගේ දේශපාලන කැමැත්ත සහ පොහොට්ටුවේ කැමැත්ත අතර පරස්පරයක් තිබෙනා බව සිය ශක්ති පමණින් කියාපෑම සඳහාය. ඒ වමේ නැඹුරුවක් සහිත ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් තම කැමැත්ත ලෙස තහවුරු කොට තබාය.

මාක්ස්වාදය ගුරු කොටගත් වාමාංශික නායකයින් පිරිසක් පොහොට්ටුව තුළ වහල්භාවයක ගිලීයමින් තිබෙනුයේ තම දේශපාලන පදනම් නැති නාස්‍ති කොට ගැනීමක ප‍්‍රතිඵලයක් ලෙස වුවද, ශ‍්‍රීලනිප පාක්ෂිකයා අන්ත දක්ෂිණාංශික ජාතිවාදී දේශපාලන ව්‍යාපාරයක් වෙත බිලිදීමට ශ‍්‍රීලනිප නායකත්වය කටයුතු කොට ඇත්තේ, ඡන්ද ලක්ෂ 15 ක වත්කමක් තිබියදීය. ඒ, මෙවර ජනාධිපතිවරණයේ ජයග‍්‍රාහකයා තෝරාපත් කරන තීරණාත්මක ඡන්ද සංචිතයයි. ලාංකේය ජාතික රාජ්‍යය පැමිණ ඇති තීරණාත්මක දේශපාලන හැරවුම් ලක්ෂයේ සිට, හරවනු ලබනුයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ දිශාවටද, නැතහොත් ඒකාධිපතිවාදයේ දිශාවටද යන්න තීරණය වනුයේ ශ‍්‍රීලංකා නිදහස් පාක්ෂිකයා විසින් සල්ගාදු පිටියෙන් ඇරඹුනා වූ 'හූ' ප‍්‍රතිචාරයේ දේශපාලන අරුත නිවැරදි වටහා ගත්තේද නැතිද යන්නට යටත්වය. ඒ තම පක්ෂයේ ආත්මාර්ථකාමී නායකයින්ගේ 'කපන්න බැරි අත සිඹිනා' දේශපාලනය පිළිබඳව නිවරදිව කොට ගන්නා විග‍්‍රහයක් සහිතවය. එසේ නොවන්නේ නම් ලාංකේය ජාතික රාජ්‍යයේ හෙට දවස දේශපාලන අනතුරක බව 'ජනමිත‍්‍ර හඬ' අප කියා සිටිනුයේ ඉතාමත් වගකීම් සහගතවය.