යුද හමුදාපතිවරයා ඇතුළත් මැතිවරණ දැන්වීම ගැන මැතිවරණ කොමිසම අවධානයෙන් !

යුද හමුදාපතිවරයා ඇතුළත් මැතිවරණ දැන්වීම ගැන මැතිවරණ කොමිසම අවධානයෙන් !

16 October 2019 06:56 pm

පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මැතිවරණ දැන්වීම් සඳහා වත්මන් හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා ඇතුළු හමුදා ප්‍රධානීන්ගේ අදහස් භාවිතා කිරීම සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කරන ලෙස ජාතික මැතිවරණ කොමිසම ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා සහ ජනාධිපති ලේකම් කාර්යාලය වෙත දන්වා තිබෙනවා.

මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා මේ බව කියා සිටියේ අද (16) පැවති මාධ්‍ය හමුවකදීය. 

රාජ්‍ය සේවකයන්ට නීත්‍යනුකූලව දේශපාලනයේ යෙදීම හෝ දේශපාලන පක්ෂවල අපේක්ෂකයන්ට සහාය දැක්වීම හෝ තහනම් බවත් එවැනි දේ සිදුවන්නේ නම් ඊට එරෙහිව කටයුතු කිරීමට මැතිවරණ කොමිසමට බලය ඇති බවත් මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතාගේ අදහස් ඇතුළත් දැන්වීමක් ගෝඨාභය රාජපක්ෂ මහතාට සහයෝගය දැක්වීම පිණිස පළකර මේ වනවිට සතියක් ගත වී ඇතත් යුද හමුදාපතිවරයා මෙතෙක් ඒ සම්බන්ධයෙන් කිසිදු ප්‍රකාශයක් සිදුකර නොමැත. ඒ සම්බන්ධයෙන් යුද හමුදාපතිවරයා පැහැදිලි කිරීමක් සිදු කළයුතු බවත් ඔහු එසේ සිදු කරනු ඇතැයි තමා බලාපොරොත්තු වන බවත් මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

මීට අමතරව තවත් රාජ්‍ය සේවකයන් රැසක් නිවාඩු ඉල්ලුම් නොකර ජනාධිපති අපේක්ෂකයන්ගේ මැතිවරණ රැළිවලට සහභාගි වී ඇති බවට වාර්තා වී ඇති බව පෙන්වා දෙන මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පවසන්නේ ඒ සම්බන්ධයෙන් සොයා බලමින් සිටින බවයි.