හම්බන්තොට වැව් වනසා ගෙවල් හදන අධිකාරිය!

හම්බන්තොට වැව් වනසා ගෙවල් හදන අධිකාරිය!

16 October 2019 06:00 pm

හම්බන්තොට ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයට අයත් තිස්සපුර බැල්ලගස්වැව ග්‍රාමයේ පිහිටි වැවක් සහ වැව් රක්ෂිතයක් වන HT 28 වැව හා වැව් රක්ෂිතය මේ වන විට දැඩි අවධානමකට පත්ව ඇත. එයට හේතුව මේ වර්ෂයේ මුල සිට නිවාස සංවර්ධන අධිකාරිය වරින් වර නිවාස ව්‍යාපෘතියක් ඉදිකිරීම උදෙසා මෙම වැවට අයත් වැව් රක්ෂිතය එළිකිරීමට උත්සහ කිරීමත් සහ මෙහි තිබූ විශාල ශාක පද්ධති ඉවත් කිරීමත් නිසාය.

ගොවි ජනතාව ⁣200ක් පමණ ජලය ගන්නා ගොවි සමිති දෙකක් මුල් කරගෙන නඩත්තු කටයුතු පවත්වාගෙන යන මේ HT28 වැව් රක්ෂිතය එල්ලංගා පද්ධතියට අයිති කුඩා වැව් රක්ෂිතයක් විදිහට දැනට පවත්වාගෙන යනු ලබයි.

පුරාණ හම්බන්තොට වාරි පද්ධතියේ මහ වැව් පෝෂණය කරන කුළු වැවක් ලෙස හඳුන්වන බල්ගස්වැව ප්‍රදේශයේ පිහිටි මෙම වැව මේ වන විට අයිති වෙන්නේ මහවැලි සංවර්ධන අධිකාරියටය. ප්‍රදේශයේ ගොවි කටයුතු කරගෙනයෑම උදෙසා පුරාණ කාලයේ සිට පැවතෙන මෙම දියකඩ මේ වන විට අනතුරට පත්ව ඇත්තේ හම්බන්තොට ප්‍රදේශයේ නිවාස සංවර්ධන අධිකාරියේ අත්තනෝමතික ක්‍රියාවලිය හේතුකොටගෙනය.

2019 අගෝස්තු මාසය වන විට නිවාස සංවර්ධන අධිකාරිය විසින් මෙම වැව් ඉස්මත්තේ තිබූ වන රක්ෂිතයේ විශාල ගස් කපා විනාශ කිරීම ආරම්භ කරන ලදි. ඒ අනුව මෙම ප්‍රදේශයේ තිබූ  කුඹුක් ගස්, මීගස්, බුරුත, කරුවල, කලු වැනි විශාල වටිනාකමින් යුත් ගස් කපා ඉවත් කරන ලද අතර මෙහි වන වැස්ම ඉවත් කිරීම නිසාම අද වන විට බරපතල පාරිසරික හානියක් ප්‍රදේශයේ  සිදුවෙමින් පවතී.

පුබුදු ගොවි සංවිධානය බැල්ලගස්වැව සහ බෝපැලේ වැව ගොවි සංවිධානය යන ගොවි සංවිධාන දෙකේ සාමාජිකාවන් 208 දෙනෙක් පමණ ඉහත කී වැව සංරක්ෂණ කටයුතු කරන අතර එම 208 දෙනාගේ කුඹුරු සහ ගොවිතැන් අස්වැද්දීම උදෙසා ජලය සපයන්නේ HT 28 නමින් වර්තමානයේ හඳුන්වන නමුත් පුරාණ කාලයේ සිට පැවති මෙම කුඩා කුලු වැවෙනි.

ඉහත වන විනාශය සහ නිවාස සංවර්ධන අධිකාරිය විසින් සිදුකරගෙන යන නිවාස ව්‍යාපෘතිය සම්බන්ධව ඉහත කී ගොවි සංවිධාන දෙක විසින් ප්‍රාදේශීය ලේකම්වරයා දැනුවත් කර ඇති අතර ඔහු විසින් ලිඛිතව දැනුම් දී ඇත්තේ මේ සඳහා කිසිදු අවසරයක් කිසිදු පුද්ගලයෙකුට ලබා දී නොමැති බවයි.

ගොවිජන සේවා සංවර්ධන නිලධාරී, ග්‍රාමසේවක මහත්මා සහ මධ්‍යම පරිසර අධිකාරිය යන රාජ්‍ය ආයතනවලට දැනුම් දුන්නත් ඔවුන්ද ලිඛිතව ප්‍රකාශ කර ඇත්තේ මේ සඳහා කිසිදු අවසරයක් කිසිවෙකුට ලබා දී නොමැති බවයි. ඒ අනුව විශේෂයෙන්ම නිවාස සංවර්ධන අධිකාරිය විසින් සිදුකරන මෙම වන විනාශයත් නිවාස ව්‍යාපෘතියත් නීත්‍යනුකූල නොවන නීතිවිරෝධී ව්‍යාපෘතියක් ලෙස හැඳින්විය හැකිය.

ඉහත කී කුඩා වැවේ රක්ෂිතය අක්කර 10ක් පමණ මහා වනාන්තරයකින් වැසී තිබූ අතර දැන් වන විට එය සැලකිය යුතු ප්‍රමාණයක් එළිකර තිබේ. 2005න් පසු විශාල වශයෙන් හම්බන්තොට ප්‍රදේශය සංවර්ධනය නිසා විනාශ කිරීමත් සමඟම හම්බන්තොට වන අලින්ට ඉතිරි වී ඇත්තේ මෙවන් කුඩා බිම් ප්‍රමාණයන්ය.

එවන් කුඩා බිම් ප්‍රමාණයන්වලින් අලි ඇතුළු අනෙකුත් සත්ත්ව විශේෂ ගණනාවක් තමන්ගේ ආහාර අවශ්‍යතාවයන් මෙවැනි කුඩා ජල මූලාශ්‍රවලින් ජල අවශ්‍යතාවයත් ඉටු කර ගනී. වැව් රක්ෂිතය එළිකිරීම නිසා විශේෂයෙන්ම ප්‍රදේශයට අලි තර්ජන අද වන විට එල්ලවීමට පටන්ගෙන ඇත. මීට පෙර විශේෂයෙන්ම අලි ඇතුන් ගමන් කිරීමේදි මෙම වනාන්තරය හරහා වෙනත් ප්‍රදේශවලට ගමන් කළ අතර අද වන විට වනාන්තරය එළි කිරීමේ ප්‍රථිපලයක්  ලෙස  අලි ඇතුන්  ගම් වැදීම ආරම්භ  වී ඇති අතර එය මිනිසුන්ගේ ජීවිතවලටද ගොවිතැන් බත්වලටද විශාල තර්ජනයක් බවට පත්ව ඇත.

එමෙන්ම මහ වැසි සමයන්වලදී විශේෂයෙන්ම ප්‍රේරණ කලාපයකික් තොරව ජලය වැවට ගලා ඒම නිසා විශාල රෝන් මඩ තට්ටුවක් වැවේ තැන්පත් වීමආරම්භ වී තිබේ. වැව්  තාවුල්ලකින්  වැව්  රක්ෂිතයක් විශේෂයෙන්ම පුරාණයේදී පවා ආරක්ෂා වූයේ වෙනත් තැන්වලින් ගලා එන ජලය පෙරා වැවට ඇතුල් කිරීමේ අරමුණ ඇතිවය. අද වන විට මේ වැව් රක්ෂිතය ඉවත් කිරීම නිසා රොන් මඩ තට්ටු පිටින් වැවේ තැන්පත් වීම නිසාත් වැවේ ජල ධාරිතාවය අඩුවීමට පටන් ගෙන ඇත.

නිවාස සංවර්ධන අධිකාරියට අනුව ගොවි ජනතාව හෝ සතා සීපාවා ගොවිතැන්බත් මේ සියල්ල එතරම් අදාළ නොවන බව ඔවුන්ගේ ක්‍රියාවලියෙන් පෙනෙන්නට තිබේ. ඒ අනුව ඔවුන්ට රිසි  පරිදි  මේ වනාන්තරය එළිකර නිවාස ඉදි කිරීම ආරමිභ  කර ඇත.

කීප වතාවක්ම ගොවි ජනතාව හා ප්‍රදේශයේ  සියලු ජනතාව එක්ව නිවාස සංවර්ධන අධිකාරියට විවිධ මට්ටමින් තම විරෝධය පළ  කර ඇතත් ඒවාට නිසි අවධානයක් යොම්ය් නොවීම කණගාටුදායක තත්ත්වයකි.  

එමෙන්ම මහවැලි සංවර්ධන කලාපයක ගොවි සංවිධානයක් ය⁣ටතේ තිබෙන වැවක් නිසා මෙහි යම්කිසි වෙනසක් කරනවා නම් හෝ ඉදි කිරීමක් කරනවා නම් ගොවි ජනසේවා නිලධාරීන්ගේ හෝ ගොවි ජනසේවා කාර්යාලයෙන් අවසර ලබාගත යුතුව තිබේ. 

නමුත් එවැනි අවසරයක් ලබා ගෙන නොමැතිව අත්තනෝමතිකව මේ ඉදිකිරීම් සිදු කරගෙන යනු ලබයි. මධ්‍යම පරිසර අධිකාරියද සිය ලිඛිත දැනුම් දීමෙන් කර තිබෙන්නේ කිසිදු අවසරයක් පරිසර අධිකාරියෙන් හෝ ලබාගෙන නොමැති බවයි. 

ඒ අනුව නිවාස සංවර්ධන අධිකාරියට අවශ්‍ය ලෙස මේ පරිසර විනාශය ඔවුන් කරගෙන යනු ලබන්නේ කුමක් නිසාද යන්න ගැටලුවකි.  සංවර්ධනය යනු ඉතිරිව ඇති වැව් හා වනාන්තරයන්  විනාශ කර ගොවි ජනතාව පාරට ඇද දැමීම නොවේ.

දෙදහස් එකොළහ වර්ෂයේ ආරම්භ කරන ලද ජාතික භෞතික සැලසුම අනුව හම්බන්තොට වනාන්තර විශාල ප්‍රමාණයක්  එළි කර විශාල ගොඩනැගිලි, මං මාවත් ඉදිකළ අතර ඒ බෙහෝ  වනාන්තර කර්කෂක පරිසරය සිසිල් කිරීමටත් සත්ව විශේෂවල ජීවි අවශ්‍යතාවය සපුරාලීමටත් තිබූ බිම්ය. 

එම විනාශයට හසු නොවී ඉතිරි වූ මේ කුඩා බිම්  කඩවල් කිහිපයක් අතර ඉහත කී වැව් රක්ෂිතය එකකි. වර්ෂයේ ඉතා කෙටි කාලයක් වර්ෂාව ලැබෙන හමිබන්තොට ප්‍රදේශයේ ජලය රඳවා ගන්නේ කුඩා වැව්  පද්ධතිය හා එම පද්ධතිය වටා ඇති වනාන්තර ප්‍රදේශයයි. මහින්ද රාජපක්ෂ යුගයේ මෙවන් බිම්  විනාශ කළ  අතර පරිසර ඇමති ජනපති වූ මෙම ආණ්ඩුවද එය අඛණ්ඩව පවත්වාගෙන යමින් හිඳියි.

රවීන්ද්‍ර කාරියවසම්