බළලා මල්ලෙන් එළියට පැනීමෙන් ඉක්බිතිව - ජයවික‍්‍රම සූරියබණ්ඩාර

බළලා මල්ලෙන් එළියට පැනීමෙන් ඉක්බිතිව - ජයවික‍්‍රම සූරියබණ්ඩාර

16 October 2019 05:01 pm

දියසෙන් කුමාර දේශපාලනය ඇරඹුනේය. ඒ, මාතෘභුමිය සකලවිධ උපද්‍රවයන්ගෙන් නිදහස් කොටගන්නේය යන විවිධාකාර දිව්රුම් සහිතවය. ඒ අනුව පසුගිය නාමයෝජනා භාරගැනීමේ අවසන් දිනය ඉක්මයාමෙන් පසු එකිනෙකා සටන් බිමට පිවිසියේය. අනුර දිසානායක තඹුත්තේගමදීය. සජිත් ප්‍රේමදාස ගාළුමුවදොරදීය. ගෝඨාභය රාජපක්ෂ අනුරාධපුරයේදීය. බළලා මල්ලෙන් එළියට පැන්නේය. ඒ පොහොට්ටුවේ දේශපාලනය හරහාය. ගෝඨාභය අනුරාධපුර සල්ගාදු ක‍්‍රීඩාංගනයේදී උද්දාමයෙන් කියා සිටියේ අත්අඩංගුවේ සිටිනා සියලු රණවිරුවන් නිදොස් කොට නිදහස් කරන්නේ යැයි කියාය. මධුමාධව අරවින්ද කියා තිබුණේ ගෝඨාභයගේ පැමිණීමෙන් පසු මුසල්මානුවන්ට වන්නේ කුමක්දැයි කියාය.

ප‍්‍රකාශයන් ද්විත්වයක් හරහා පොහොට්ටු දේශපාලනය තුළ මෙතෙක් සැගවී සිටි බළලා එළියට පනින ලද්දේ මෙරට සුළු ජාතිකයන්ගේ ඉරණම කොයිබටදැයි යන්න අනාවරණය කොටය. ඒ අනුව ගෝඨාභය දේශපාලනය වෙනුවෙන් සුවඳ දුම් අල්ලා සිටිනා අතාවුල්ලා සහ සබ්රි අලී වැන්නන් සිය ජනයා හමුවේ පෙනී සිටිනුයේ කෙසේදැයි යන්න ගැන සොයා බලමින් සිටී. ජනාධිපතිවරණයේදී තමන් සහයෝගය දෙනුයේ කා හටදැයි යන්න අරබයා ආඩම්බරයෙන් කල්මරමින් සිටිනා දෙමළ ජාතික සන්ධානයට පවා තම ස්ථාවරයන් කඩිමුඩි කරවනා පන්නයෙන් එළියට පනින ලද්දේ සුළුපටු බළලෙකු නොවේ. ඒ, අපුල දනවනා ජාතිවාදයේ ගන්දස්කාරයක් සහිතවය. 'ජනමිත‍්‍ර හඬ' අප වියමන වෙත ප‍්‍රවේශ වනුයේ මෙතැන් සිට දේශපාලනයේ පෙළගැස්ම අනාවරණය කිරිම සඳහාය.

ලාංකේය දේශපාලනය තීරණාත්මක මොහොතක් කරා සපැමිණ ඇත. ඒ මෙතැනින් කොතැනටද යන පැණයක් මතුකොට තබාය. ඒ, ප‍්‍රජාතන්ත‍්‍රවාදයද අත්තනෝමතිකත්වයක්ද යන තෝරාගැනීමක් සඳහා අවස්ථාවක් නිර්මාණය කරමින්ය. බළලෙකු එළියට පනින ලද්දේ දේශප්‍රේමය සහ ජාතික ආරක්ෂාව නැමති මල්ල තුලිනි. ඒ අත්තනෝමතිකත්වයක ගති ලක්ෂණ සහිතවය. එ් අනුව මෙතැන් සිට ලාංකේය ඡන්දදායකයා හට තෝරාගැනීමක් සඳහා බලකොට සිටී. ඒ ජනාධිපතිවරණයේදී බලයට පත්කොට ගනුයේ නැවත පරාජය කළ හැකි අයෙකුද නැතිද යන්න තීරණය කොට ගැනීමටය. දේශපාලන කඳවුරු ද්විත්වය බෙදීයාමට නියමිතව තිබෙනුයේ. 'තනි සිංහල බල කේන්ද්‍රයක්ද, ජාතික සමගියේ දේශපාලනයක්ද' යන අර්ථයෙනි. පොහොට්ටුවේ දේශපාලනය වැඩවසම්වාදයේ ගතානුගතිකත්වයකට පක්ෂපාතී වෙමින් තිබේය යන දේශපාලන මතවාදයක් මෑතක සිට විද්වතුන් හරහා ගොඩනැගෙමින් තිබූ අතර, සල්ගාදු ප‍්‍රකාශයත්, මධුමාධව ප‍්‍රකාශයත් හරහා මේ මතවාදය වඩාත් තීව්‍ර වෙමින් ඇත. ඒ, එනපොට හොඳ නෑ 'ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ කෙල්ල' ගෙට ගන් යන පන්නයෙනි. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය අද වනවිට මරණ මංචකය වෙත ළඟා වෙමින් තිබෙනුයේය යන්න ප‍්‍රසිද්ධ රහසක් බවට පත්ව ඇත. ශ‍්‍රීලනිපය එසේ අවසන් ගමන් යමින් තිබෙනුයේ, සිය පාක්ෂික බලවේගය නව දේශපාලන ව්‍යාපාරයක් වෙත නතු කොටදීය.

ඒ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ නමිනි. මේ වනවිට ශ‍්‍රීලනිපය සමග සභාග දේශපාලනයේ දිගුකාලීන අත්දැකීම් ඇති පැරණි වමේ නායකයින්ට පවා පොහොට්ටුවේ පෙනී නොපෙනී තිබූ තත්වයක් ක‍්‍රමයෙන් පැහැදිලි වෙමින් ඇත. ඒ මධුමාධව අරවින්ද සහ ගෝඨාභය රාජපක්ෂගේ ආවේගශීලි ප‍්‍රකාශ හරහාය. ජනාධිපතිවරණයේ කඳවුරු ද්විත්වය බෙදීයාමට නියමිතව තිබෙනුයේ මෙකී අත්තනෝමතිකත්වය සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය අතරය. ඒ නොවැළැක්විය හැකි ලෙසය. මන්ද දේශපාලනය පෙළගැසී එනුයේ එවන් පන්නයකින් නිසාය. විකල්පයන්ගේ දේශපාලනය අර්බුදයට පත්වීමට නියමිතව තිබෙනුයේ මෙවන් වටපිටාවක් තුළය. ඒ විකල්පයන් කිසිවකුත් ප‍්‍රධාන අපේක්ෂකයින් දෙදෙනාට අභියෝග කිරිම සඳහා සූදානම් නොවූ යථාර්ථයක් පවත්නා නිසාය.

ජනාධිපතිවරණය සඳහා විකල්ප දේශපාලනය විසින් ආකර්ශණීය ආරම්භයක් ගනු ලැබුවේ පසුගිය අගෝස්තු 18 දාය. ඒ ජාතික ජන බලවේගය නමින් ගාළුමුවදොරදීය. ඒ ප‍්‍රධාන ධාරාවේ දේශපාලනයට අභියෝග කොට සිටය. එ් වනවිට එක්සත් ජාතික පක්ෂය සහ පොදුජන පෙරමුණ සිටියේ සිය අපේක්ෂකත්වය නිශ්චිත නොවූ තත්වයක් තුළය. නමුත් ඔක්තෝබර් 07 දා වනවිට දෙපාර්ශවයම ප‍්‍රශ්න විසඳාගෙන තිබුණි. සටන ඇරඹුනේ නාමයෝජනා භාරදීමෙන් පසුවය. ඒ එකිනෙකාගේ ජන බලයන්ද, ස්ථාවරයන්ද සමාජගතකොටය. කරට කර ජන බලයන් ප‍්‍රදර්ශනය කළ වුන්ගේ දේශපාලන ස්ථාවරයන්ගේ වෙනස්කම් තීව්‍ර වන්නට පටන් ගත්තේ එතැන් සිටය. ඒ දේශප්‍රේමීන්ගේ සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදීන්ගේ පෙනුමින්ය. මේ වනවිට දේශප්‍රේමී පෙරමුණ ගෝඨාභය - මධුමාධව ප‍්‍රකාශයන් හරහා තමන් කවුදැයි මෙරට ඡන්දදායකයා වෙත දැනුවත් කොට ඇත. දැන් ප‍්‍රජාතන්ත‍්‍රවාදීන් යැයි කියාගන්නා පෙරමුණ හෙවත් සජිත් ප්‍රේමදාස පිළ මෙතැන් සිට මෙරට ඡන්දදායකයාට ආරාධනා කරනු ඇත්තේ ජාතිවාදය පැරදවීමට තමන් හා එකතු වන ලෙසටය. එපමණක් නොව අනුරාධපුර සල්ගාදු පිටියේදී ගෝඨාභය රාජපක්ෂ විසින් කරන ලද කතාවේ සියලු ගැටපද හෙට දිනකදී මෙරට ජන සමාජය හමුවේ ලිහිල් කෙරෙනවා ඇත. ඒ ඒකාධිපති පාලනයක සියලු අහුමුළු මැනවින් අනාවරණය කොටය.

එතැන් සිට සිදුවීමට නියමිතව ඇත්තේ කුමක්දැයි යන්න අරබයා සංඥාවක් නිකුත් කොට ඇත්තේ ඇල්පිටියේ පුංචි ඡන්දය විසිනි. ඒ ජනාධිපතිවරණයේ ඡන්ද හැසිරිම කුමනාකාර වන්නේදැයි යන මනා ඉඟියක් සපයා දෙමිනි. ඒ අනුව දකුණේ සිංහල බෞද්ධ ඡන්ද බහුතරයක් පොහොට්ටුවට ලැබෙනා බව සනාථවී අවසන්ය. මීට සාපේක්ෂ ලෙස උතුරු නැගෙනහිර සහ රට පුරා විසිරි සිටිනා සුළු ජාතික ඡන්ද ප‍්‍රතිචාර දැක්වීමට නියමිතව ඇත. ඒ 2015 ජනවාරි 08 ජනාධිපතිවරණයේ හැසීරිමට සමාන ලෙසය. ගෝඨාභය ලවා මුසල්මානුවා සහ දෙමළා මට්ටු කිරීමක් අපේක්ෂා කරනා සිංහලයන්ගේ පාර්ශවයක්ද ජාතික සමගියක් අපේකෂා කරනා සිංහල, දෙමළ, මුස්ලිම් එ්කාබද්ධ පාර්ශවයක්ද යන අර්ථයෙන් දෙපිළ වෙන්වීමට නියමිතව ඇත්තේ ඉතාම බරපතල ලෙසය. එතැන් සිට පහළට වැටීමට නියමිතව ඇත්තේ විකල්ප ධාරාවේ 'අලුත් රටක් හැදීමේ' දේශපාලනයයි. ඒ ඉහත කී බෙදීයාමට අභියෝග කළ හැකි පන්නයේ මතවාදී බලයක් විකල්පයන් සතුව නැති නිසාය. ඒ අනුව ගෝඨාභයට එරෙහිව හංසයාත් සජිත් ප්‍රේමදාසට එරෙහිව පොහොට්ටුවත් සටනට පිවිසීම කිසිවකුටත් වළකාලිය නොහැක. ඒ අනුව සජිත් ප්‍රේමදාසට ඡන්දය නොදීමට තීරණය කොට ගෙන සිටිනා වුන් නොවැම්බර් 16 දා ජාතික ජන බලවේගයට පිටුපා හංසයා ලකුණ ඉදිරියෙන් කතිරයක් අඳිනුයේ 'අනේ අනුර සහෝදරයා ඔයාට ඡන්දය දුන්නොත් අරූ එනවා' යන රහසිගත වැලපීමක් සහිතවය. දෙපිළ වෙතම ඡන්දය භාවිතා කරන සැබෑ ප‍්‍රගතිශීලීන් ජාතික ජනබලවේගය වෙත ඉදිරිපත් කරනා විවේචනයක්ද සහිතව ජනාධිපතිවරණයේ ප‍්‍රතිඵල නිකුත්වීමට නියමිතය. ඒ 'ඔහේලා කවදද අපේ ඡන්දය දිනන ඡන්දයක් කරන්නේ' යන අහිංසක චෝදනාවක් සහිතවය. 2015 ජනවාරියේ සිට දින 1500 කට අධික කාලයක් තිස්සේ දේශපාලනයේ 'ගෙදර වැඩ' අතපසු කොටගත් ජවිපෙ ජාතික ජන බලවේගයක් සමග තරග විභාගයක් වෙත පැමිණියද ලබා ගන්නා ලකුණු ප‍්‍රමාණය කුමක් වන්නේදැයි යන්න ඇල්පිටිය විභාග මධ්‍යස්ථානයේදී හෙළිදරව් වී ඇත. 'ජනමිත‍්‍ර හඬ' අප ජවිපෙට කියා සිටිනුයේ එකක් පමණි. ඒ නොවැම්බර් 18 වනදා පවත්වන්නාවූ මාධ්‍ය හමුවේදී මෙරට ඡන්දදායකයා වෙත ශාප නොකරනු කියාය.