ඩලස් අලහප්පෙරුමලාට දෛවය සරදම් කරන හැටි!

ඩලස් අලහප්පෙරුමලාට දෛවය සරදම් කරන හැටි!

16 October 2019 03:00 pm

'ඊයේ ජාතික රූපවාහිනියේ ප්‍රවෘත්තිවල පළමුව සජිත් ප්‍රේමදාස, දෙවනුව මහේෂ් සේනානායක, තුන්වැනියාට සිරිතුංග ජයසූරිය, හතරවෙනියට ගෝඨාභය රාජපක්ෂ. ගෝඨාභය රාජපක්ෂ මහතාට ලැබුණු කාලය විනාඩි දෙකක්වත් නැහැ. අනෙක් අයට විනාඩි අටක් විතර ලැබුණා. ලේක්හවුස් ආයතනය ලෝකයේ පැරණිම වෘත්තිය සොයාගෙන යාම අරඹා තිබෙනවා. ඒකපාර්ශ්විකව, එක අපේක්ෂකයෙක් ප්‍රවර්ධනය කරන රාජ්‍ය මාධ්‍ය වැඩපිළිවෙල සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම කඩිනමින් සොයා බැලිය යුතු බවයි අපගේ විස්වාසය.'

මෙසේ පවසන්නේ පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරයේ ඉදිරිපෙළ ප්‍රධානියෙකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පේරුම මහතාය. ඒ අද (16) වියත්මග කාර්යාලයේ පැවති මාධ්‍ය හමුව අමතමිනි.

අද මෙසේ රාජ්‍ය මාධ්‍ය විවේචනය කරන ඩලස් අහලප්පෙරුම මහතා පසුගිය 2015 ජනාධිපතිවරණයේදීද එවර ඔහුගේ අපේක්ෂකයා වූ මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරයේ ඉදිරිපෙළ ප්‍රධානියෙකි. අද රාජ්‍ය මාධ්‍යවල තම අපේක්ෂකයාට ලබාදෙන කාලය ප්‍රමාණවත් නොවන බවත්, එය බරපතල අසාධාරණයක් බවත් පෙන්වා දෙන ඩලස්ලා එදා විපක්ෂ අපේක්ෂකයන්ට රාජ්‍ය මාධ්‍ය තුළ විනාඩි දෙකක් හෝ ලබා නොදුන්නේය. රාජ්‍ය මාධ්‍යවල ප්‍රවෘත්ති සඳහා වෙන්වන කාලයෙන් අතිශය වැඩි ප්‍රතිශතයක් වෙන්කළේ සිය අපේක්ෂකයා ප්‍රවර්ධනය කිරීම වෙනුවෙනි.

එපමණක් නොව සිය අපේක්ෂකයා වෙනුවෙන් රාජ්‍ය මාධ්‍ය හරහා දැන්වීම් ප්‍රචාරය කළේ කෝටි ගණන් වටිනා විකාශන වේලාවන් වෙනුවෙන් සතයකුදු නොගෙවාය. ඒ සම්බන්ධයෙන් තවමත් අධිකරණයේ නඩු ඇසෙමින් පවතින අතර ඩලස්ලාට ඒවා අමතක වීමට කිසිදු හේතුවක් නොමැත.

ගුවන් කාලය පිළිබඳව පමණක් නොව කරුණු විකෘති කරමින් සිය අපේක්ෂකයාට රාජ්‍ය මාධ්‍ය හරහා මඩ ගසනා බව ද ඩලස් මන්ත්‍රීවරයා පවසයි. මෙම ප්‍රකාශය සිදු කරන විට පසුගිය වර පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වූ මෛත්‍රීපාල සිරිසේන මහතාට මඩ ගැසීම සඳහා කුඩා දරුවන් පවා යොදා ගනිමින් ස්වාධීන රූපවාහිනියේ නැටූ නාඩගම ඔහුට සිහිපත් නොවීමට කිසිදු හේතුවක් නැත.

රාජ්‍ය මාධ්‍ය එක් අපේක්ෂකයෙකු වෙනුවෙන් පක්ෂග්‍රාහී වීම අප කිසිසේත් අනුමත නොකරමු. තවත් අපේක්ෂකයෙකුට මඩ ගැසීම ද කිසිසේත් අනුමත නොකරමු.

එය එදා මෙන්ම අදටද වලංගුය.

එහෙත් එදා තම අපේක්ෂකයාගේ ප්‍රවර්ධනයට හා ප්‍රතිවාදියාට මඩ ගැසීම සඳහා රාජ්‍ය මාධ්‍ය අමු අමුවේ භාවිතා කළ පුද්ගලයන්ම අද රාජ්‍ය මාධ්‍ය පක්ෂග්‍රාහීය, මඩ ගසනවාය යනුවෙන් පවසමින් කිඹුල කඳුළු හෙලීම හාස්‍යජනකය.

එක් පැත්තකින් මෙය ඩලස්ලාට තමන්‍ගේ දෛවය විසින්ම කරන සරදමකි.

UN