කහ සිවුර කතා කරයි - දේශපාලනයෙන් ආගම වෙන් කළ යුතුයි!

කහ සිවුර කතා කරයි - දේශපාලනයෙන් ආගම වෙන් කළ යුතුයි!

22 September 2019 09:09 pm

‘යහපත් දේශපාලනයකට සයිබර් කතා බහ‘ යනුවෙන් අලුත් පියාපත් ( The New Wing - புதிய சிறகுகள்) කණ්ඩායම විසින් සංවිධානය කරනු ලබන සාකච්ඡා මාලාවේ පළමු අදියර පසුගියදා පැවැත්විණි. සයිබර් අවකාශය තුළ මෙවැනි කතාබහක් ගොඩනැගුණු පළමු අවස්ථාව ලෙස මෙය සැලකේ.

‘‘යහපත් දේශපාලන සංස්කෘතියක් වෙනුවෙන් ඉදිරි ජනාධිපතිවරණයේදී ජනතාවගේ තේරීම කෙසේ විය යුතුද?“ යන මාතෘකාව යටතේ සිදුකෙරුණු මෙම සාකච්ඡා මණ්ඩපයට විවිධ දේශපාලන අදහස් දරන ස්වාමීන් වහන්සේලා සිව් නමකට ආරාධනා කර තිබිණි. 

ඒ අනුව ශාස්ත්‍රවේදී පූජ්‍ය වල්පොල පදුම හිමි, සුමංගල විද්‍යායතනයේ ආචාර්ය රාජකීය පණ්ඩිත පූජ්‍ය කැකිරාව සුදස්සන හිමි, ශාස්ත්‍රපති පූජ්‍ය එගොඩඋයනේ ඥානවිමල හිමි, ජාතික භික්ෂු පෙරමුණේ ප්‍රධාන ලේකම් ශාස්ත්‍රපති පූජ්‍ය වකමුල්ලේ උදිත හිමි යන ස්වාමීන් වහන්සේලා මෙයට සහභාගි වී සිටියහ.  

මෙහිදී අදහස් දැක්වූ පූජ්‍ය වකමුල්ලේ උදිත හිමි ප්‍රකාශ කළේ දේශපාලනයෙන් ආගම වෙන් කළ යුතු බවයි.

‘‘මිනිස්සු තුළ ගරු කිරීම, අනෝන්‍ය විශ්වාසය, අන් මත ඉවසීම මත තමයි ආරක්ෂාව තහවුරු වෙන්නෙ. ආරක්ෂක ලේකම්වරයෙක් ජනාධිපති වූ පලියට රටක ආරක්ෂාව තහවුරු වෙන්නෙ නෑ. ඔහුට හමුදා භාෂාව තේරුණු පලියට රටක ආරක්ෂාව තහවුරු වෙන්නෙ නෑ.“ යනුවෙන් ද එහිදී උන්වහන්සේ ප්‍රකාශ කළහ.