හෙල්පිං හම්බන්තොට : තාක්ෂණික හේතු නිසා නිෂ්ප්‍රභා කළ තවත් නඩුවක්

හෙල්පිං හම්බන්තොට : තාක්ෂණික හේතු නිසා නිෂ්ප්‍රභා කළ තවත් නඩුවක්

22 September 2019 06:41 pm

තිස් දහසකට පමණ මරු කැදවමින් ශ්‍රී ලංකාවේ වෙරළබඩ තීරුව වසාගත් 'සුනාමි' ඛේදවාචකය සිදුවූයේ 2004 දෙසැම්බර් 26 දිනය. මෙ ඛේදවාචකය සැලවූ විට මුළුමහත් ලෝකයම මහත් කම්පාවට පත්වූයේ ය. ක්ෂණිකවම ලොව නන්දෙසින් ඇප උපකාර කිරීමට බොහෝ රටවල් ඉදිරිපත් විය. ඒවා අතර මුදල්, ආහාර ද්‍රව්‍ය, ඖෂධ, වෛද්‍ය සේවා, ප්‍රථමාධාර සහන සේවා ආදී සේවාවන් රාශියක් විය.

ලොව විවිධ රාජ්‍යයන් ගෙන් සහ රාජ්‍ය නොවන ආයතනවලින් විශේෂයෙන් මූදල් ආධාර ගලා එන්නට වූ අතර ජනාධිපති, අගමැති, රජයේ අමාත්‍යංශ වෙතද මෙකී මුදල් ආධාර විශාල වශයෙන් ලැබෙන්නට විය.

රුපියල් අසූ තුන් කෝටියකට ආසන්න මුදලක් අගමැති කාර්යාලයට ලැබෙන්නේද සූනාමි ඛේදවාචකයෙන් විපතට පත්වූවන්ට සහන සලස්වනු පිණිස ය. එකී මුදල 'අග්‍රාමාත්‍ය පුනර්ජීවන අරමුදල නමින් මහජන බැංකුවේ යුනියන් පෙදෙස ශාඛාවේ විශේෂ ගිණුමකට 2004 දෙසැම්බර් 31දින බැර කර තිබුණි.

සුනාමි ආධාර වශයෙන් රටට ලැබෙන මුදල් එක් එක් ප්‍රබලයන් තමන්ට රිසිසේ විවිධ ගිණුම් අරඹමින් තැන්පත් කර ගන්නා බවට එවකට ජනාධිපතිනී චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියට වාර්තා වී තිබුණි. එහෙයින් ජනාධිපති ලේකම් කාර්යාලය විසීන් 'අපදා සහන ජනාධිපති අරමුදල' නමින් විශේෂ අරමුදලක් පිහිටුවා සහනාධාර ලෙස ලැබෙන සියලුම මුදල් ඊට බැර කළ යුතු බවට PA 272 චක්‍ර ලේඛයක් නිකුත් කරන්නට යෙදූණි.

එකී චක්‍ර ලේඛය උල්ලංඝනය කරමින් ඉහත මහජන බැංකූව යූනියන් පෙදෙස ශාඛාවේ තිබු රූපියල් 82, 95, 8247.40/- මුදල 2005 ජනවාරි 29 'හෙල්පිං හම්බන්තොට' නමින් නව ගිණුමකට මාරු කර තිබුණි. එකී ගිණූම අයත් වූයේ ඩී.ඒ. රාජපක්ෂ පදනමට ය. එය පෞද්ගලික බැංකු ගිණූමකි.

මෙය තනිකරම වංචනික ක්‍රියාවක් බවත්, ජනාපති අරමුදල් චක්‍රලේඛ උල්ලංඝනය කර ඇතැයි ද පවසමින් එක්සත් ජාතික පක්ෂයේ සභාපති කබීර් හෂීම් මහතා විසින් නඩු පවරන ලැබී ය. එකී නඩුව ඉහළ අධිකරණය ට ගිය පසූ අගවිනිසුරු සරත් එන්. සිල්වා ප්‍රමුඛ විනිසුරු වරුන් විසින් නඩුව ගොනූ කිරීමේ 'තාක්ෂණික' කාරණා මත පදනම්ව නිශ්ප්‍රභ කරන්නට යෙදූණි. එහෙත් විත්තිකරුවන් නිදොස්කොට නිදහස් කිරීමක් නොවුණි. රටේ ඉහළම අධිකරණ යෙන් නිෂ්ප්‍රභා කළ නඩුවක් නිසා නැවත නඩු පැවරීමක් ද කළ නොහැකි විය.

ළමා ළපටීන්. වැඩිහිටියන් ඇතුළු තිස් දහසක් පමණ මරුමුවට පත්වී ලක්ෂ ගණනකට උන් හිටි තැන් අහිමි වූ වචනයේ පරිසමාප්ත අර්ථයෙන් විග්‍රහ කළ නොහැකි මහා ඛේදවාචකයක් වෙනුවෙන් ලැබුණු, රුපියල් කෝටි අසූ තුනක් සහන සැලසීම පසෙක තබා තමන් සතු ගිණුමක් තැන්පත් කර ගැනීම යුක්ති යුක්ත කරන්නේ කව්ද...?

- පොද්දල ජයන්ත