පකිස්තානු සංචාරය අතහැර දමයිද ?

පකිස්තානු සංචාරය අතහැර දමයිද ?

12 September 2019 10:22 pm

මෙම මස අගදී නියමිතව තිබෙන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පකිස්තානු සංචාරය තවදුරටත් අවිනිශ්චිතව තිබෙනවා. ඒ සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමට ප්‍රහාරයක් එල්ල වීමේ අවදානමක් ඇති බවට පුවත් පළවීම හේතුවෙනි.

මෙරට අග්‍රාමාත්‍ය කාර්යාලය ඊයේ ක්‍රිකට් ආයතනය වෙත දැනුම් දී තිබුණේ ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමේ අවදානමක් සම්බන්ධයෙන් විශ්වාසදායක තොරතුරු ලැබී ඇති බවයි.

මේ සම්බන්ධයෙන් ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කළ අතර ඉන්පසු පකිස්තානු ක්‍රිකට් ආයතන නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ එවැනි ප්‍රහාරයක් පිළිබඳව කිසිදු තොරතුරක් ලැබී නොමැති බවයි. ප්‍රහාරයක් එල්ල විය හැකි බවට පළවන පුවත් ප්‍රතික්ෂේප කරන බවත් සංචාරය සඳහා සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායමට ඉහළම ආරක්ෂාවක් ලබාදීමට කටයුතු කරන බවත් පකිස්තානු බලධාරීන් පවසනවා.

ප්‍රහාරයක් එල්ල වියහැකි බවට පුවත් පළවීම හේතුවෙන් මේ වනවිට පකිස්තාන් සංචාරය සඳහා කැමැත්ත පළකර සිටින ක්‍රීඩකයන්ද සංචාරයට සහභාගි වීම ප්‍රතික්ෂේප කිරීමේ අවදානමක් මතුව තිබේ.

2009 වසරේ පකිස්තානයේ සංචාරයක නිරතව සිටි ශ්‍රී ලංකා කණ්ඩායමට ලාහෝර්හිදී හෝටලයේ සිට ක්‍රීඩාංගනය බලා යමින් සිටින අතරතුර ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල විය. ක්‍රීඩකයන් සිට බස් රථයේ රියදුරාගේ දක්ෂතාවය හේතුවෙන් ක්‍රීඩකයන් දිවි බේරා ගැනීමට සමත් විය.

මෙම ප්‍රහාරයෙන් පසුව ජාත්‍යන්තර ක්‍රිකට් තරග ක්‍රීඩා කරන සියලු කණ්ඩායම් පකිස්තානයේ සංචාරය කිරීම ප්‍රතික්ෂේප කළේය.

පකිස්තානු බලධාරීන් පවසන්නේ ශ්‍රී ලංකාව තම රට වෙත එවන කුමන මට්ටමේ හෝ කණ්ඩායමක් ඉතා සතුටින් පිළිගැනීම සඳහා බලා සිටින බවයි. එසේ ඔවුන්ට රාජ්‍ය නායකයෙකුට ලබාදෙන ආරක්ෂාව ලබාදීමට පකිස්තානු බලධාරීන් සූදානම්ව ඒ වෙනුවෙන්ම කමාන්ඩෝ සෙබළුන් 8,500 කගෙන් සමන්විත හමුදා බලඇණියක් සූදානම් කර තිබේ.

මීට අමතරව ක්‍රීඩකයන්ගේ ප්‍රවාහන කටයුතු සඳහා වෙඩි නොවදින රථ යොදා ගැනීමටත් ක්‍රීඩකයන් වෙනුවෙන් පූර්ණ ආරක්ෂාව සහිත හෝටල් වෙන් කිරීමටත් ඔවුන් පියවර ගෙන තිබේ.

ශ්‍රී ලංකා කණ්ඩායම‌ මෙරටින් පිටත් වීම සඳහා තවත් සති දෙකක පමණ කාලයක් ඇති අතර එම කාලය තුළදී මෙම තරග සංචාරයට අදාලව තවත් බොහෝ දේ සිදුවිය හැකිය.

UN