පාසල් නිළ ඇදුම් වව්චරයෙන් රු.මිලියන 450ක පාඩුවක් - අධ්‍යපන ඇමති ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවට

පාසල් නිළ ඇදුම් වව්චරයෙන් රු.මිලියන 450ක පාඩුවක් - අධ්‍යපන ඇමති ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවට

25 August 2019 10:09 pm

පාසල් නිළ ඇඳුම් රෙදි වෙනුවට නිළ ඇඳුම් වව්චර් පත් ලබාදීමේ ක‍්‍රමවේදය තුළ රුපියල් මිලියන 450 ක පාඩුවක් වී ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ප‍්‍රධාන මූල්‍ය නිලධාරියා 2015-2018 යහපාලන රජයේ වංචා දූෂණ විමර්ශනය පිළිබඳ විශේෂ ජනාධිපති කොමිෂන් සභාව හමුවේ සාක්ෂි ලබා දෙමින් පිළිගෙන තිබෙන බව නිවේදනයක් නිකුත් කරමින් ලංකා ගුරු සංගමය පවසයි. 

පාසල් නිළ ඇඳුම් රෙදි වෙනුවට නිළි ඇඳුම් වව්චර් පත් ලබාදීමෙන් පාසල් දරුවන්ට නිසි පරිදි ඉහළ ගුණාත්මක භාවයෙන් යුතු නිළ ඇඳුම් නොලැබෙන බවට වත්මන් රජය විසින් පාසල් නිළ ඇඳුම් රෙදි ලබාදීම ආරම්භ කළ අවස්ථාවේ සිටම ලංකා ගුරු සංගමය දිගින් දිගටම පෙන්වා දුන් අතර නිළ ඇඳුම් වව්චර් පත් ලබාදීම පිළිබඳ  එම සංගමය  දැඩි විරෝධය පළ කර සිටි බවයි  නිවේදනයේ දැක්වෙයි.  එසේම වත්මන් රජයේ අතැම් ඇමතිවරු ද නිළ ඇඳුම් රෙදි ලබාදීම සිදු කළ යුතු බව ප‍්‍රකාශ කරන ලද බවද ලංකා ගුරු සංගමය සඳහන් කරයි. 

"එහෙත් අධ්‍යාපන අමාත්‍යාංශය නිළ ඇඳුම් රෙදි ලබාදීමෙන් දූෂණ සිදුවනවා  යැයි පවසමින් අත්තනෝමතික ලෙස දිගින් දිගටම නිළ ඇඳුම් වව්චර් ලබාදීම සිදු කරන ලදී. තත්වය එසේ තිබියදී මේ වන විට අනාවරණය වී ඇත්තේ පාසල් නිළ ඇඳුම් වව්චර් ලබාදීමෙන් ද රුපියල් මිලියන 450 ක් වැනි බරපතල නාස්තියක් වී ඇති බවයි." 

මේ තත්වය තුළ 19 වන ව්‍යවස්ථා සංශෝධනය අනුව පත් කර ඇති ප‍්‍රසම්පාදන කොමිසම හරහා රජයේ ප‍්‍රමිති ආයතනය නිර්දේශ කර ඇති පිරිවිතරෙන් යුතු නිළ ඇඳුම් රෙදි 2020 වසරේ දී පාසල් දරුවන් ලබා දීමට කටයුතු කළ යුතු බව ලංකා ගුරු සංගමය ප‍්‍රකාශ කර සිටී.   

මෙම කාරණය පාදක කර ගනිමින් එනම් පාසල් නිල ඇදුම් වෙනුවට වව්චර් පත් ලබාදීමේ දී සිදුවූ බව කියන වංචා දූෂණ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාට  ලබන මස 02 වන දින ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී ඇත.