පොහොට්ටුවේ ප්‍රාර්ථනාව : ’’සජිත් එනවා නම් මම කැමතියි’’ - මහින්ද

පොහොට්ටුවේ ප්‍රාර්ථනාව : ’’සජිත් එනවා නම් මම කැමතියි’’ - මහින්ද

25 August 2019 09:45 pm

ඉදිරි ජනාධිපතිවරණයේ  එක්සත් ජාතික පක්ෂ ජනාධිපති අපේක්ෂකයා ලෙස  සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත්වන්නේ නම් තමන් ඊට කැමැත්තෙන් පසුවන බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පැවසුවේය.

කෙසේවෙතත් මේ යන විදිහට එක්සත් ජාතික පක්ෂයට අනාගතයක් නොමැති බවයි රාජපක්ෂ මහතා පැවසුවේ. සියලු දෙනාම රණ්ඩු  වෙමින් සිටින අතර ඔවුන් නායකත්වයට පොරකන බවද ඔහු කියාසිටියේය.  

මහින්ද රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළේ අද (25) කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවති පූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රි නා හිමියන්ගේ 123 වන ජන්මදින උපහාර උළෙල සහ ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමේ උත්සවයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. 

එළඹෙන සතියේ සිට මැතිවරණ ව්‍යාපාරය වෙනුවෙන් ගමින් ගමට යාමට සූදානම් බවයි රාජපක්ෂ මහාතා කියාසිටියේ. මේ අතර ගෝඨාභය රාජපක්ෂ මහතා මැතිවරණයට හොඳ සූදානමකින් පසුවන බවද හෙතෙම ප්‍රකාශ කළේය. 

එමෙන්ම මෙවර සුළු ජාතීන්ගේ සහයද තමන්ගේ පාර්ශවයට ලෙබෙන බව ඔහු සඳහන් කළේය. 

"මෙවර සුළු ජාතීන්ගේ සම්පුර්ණ සහය ලැබෙනවා. මොකද හැමදාම මිනිස්සු රැවටෙන්නේ නැහැ. නායකයෝ මිනිස්සු රැවටුවා. හැබැයි මීට පස්සේ එහෙම රවටන්න ලැබෙන එකක නැහැ. ජනතාව දන්නවා කවුද වැඩ කළේ කියලා. උතුරු නැගෙනහිරට පාලමක්  බෝක්කුවක්වත් මේ ආණ්ඩුව දාලා නැහැනේ. උතුරේ වැඩක් කරලා තියෙනවා  නම් වැඩක්  කරලා තියෙන්නේ අපි." 

හදිසි නිතිය ඉවත් කිරීම සම්බන්ධයෙන්ද මෙහිදී රජපක්ෂ මහතා අදහස් දැක්විය.
 
"හදිසි නීතියයට අපි විරුද්ධ වෙන්නේ වෘත්තීය සමිති මර්දනයට, පෙළපාළි මර්දනයට මේ ආණ්ඩුව එය යොදාගැනීම නිසා. එහෙම නැතුව හදිසි නීතිය පිළිබඳ අපිට ප්‍රශ්නයක් නැහැ ත්‍රස්තවාදය වැලැක්වීම සඳහා යොදවන නම්. නමුත් අද යෙදවෙන්නේ වෙන ඒවාට."

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුරවැසිභාවය සම්බන්ධයෙන් මතුව තිබෙන ප්‍රශ්නකාරී තත්ත්වය පිළිබඳවද මෙහිදී මාධ්‍යවේදීන් රාජපක්ෂ මහතාගෙන් විමසූ අතර ඊට ඔහු නිසි පිළිතුරක්  ලබා දෙන්නේ  නැත. 

ASK