GMOA නමැති සර්පයා දෂ්ට කරනු දැක හිපොක්‍රටීස් සැරයටිය අතහැර පලා යයි

GMOA නමැති සර්පයා දෂ්ට කරනු දැක හිපොක්‍රටීස් සැරයටිය අතහැර පලා යයි

25 August 2019 08:54 pm

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ කිහිපදෙනෙකුගේ මෙහෙයවීම හා උවමනාව මත ක්‍රියාත්මක වූ වැඩවර්ජනයෙන් ඔවුන් ඉලක්ක කළේ රෝගී මහජනතාව බව නොකිවමනාය. මන්දයත් එම වර්ජනයේ සටන් පාඨ සියල්ල විශලේෂණයේදී පැහැදිලි වන්නේ සමස්ත අරගලයම පදනම් විරහිත දේශපාලන රංගනයක් පමණක් බවයි.

වැඩවර්ජනය සාර්ථක බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ කිහිපදෙනෙකු මාධ්‍ය සංදර්ශනවල සිදු කරන ප්‍රකාශයන්, අහිංසක මහජනතාව සලකනු ලබන්නේ ආඩම්බරකාර උජාරුවක් ලෙස නොවේ. ඉතා පහත් වින්දනයක් පරිද්දෙනි. වෛද්‍යවරුන් අතරින්ම විසඳාගත යුතු ගැටළු කිහිපයකට දේශපාලන අර්ථකථනයක් ලබා දීම සහ පටු න්‍යායපත්‍රයක් වෙනුවෙන් රෝගී ජීවිත බිල්ලට ගැනීම අපි පිළිකුලෙන් යුතුව හෙළා දකින්නෙමු.

සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් පර්ෂදය පෙන්වා දෙන්නේ, බාල ඖෂධ හා බාල දොස්තරවරු යන මාතෘකා දෙකම මෙරට තුළ කළමනාකරණය කරන ස්ථරයේ වැඩි නියෝජනය රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය සතු බවයි. රසායනවේදීන් පවා අවම ලකුණු මට්ටම දිනා ගෙන තිබියදී වෛද්‍යවරුන්ට එම අවශ්‍යතාවය නැත්තේ ඇයිදැයි එම පර්ෂදයේ සභාපති රවී කුමුදේශ් මහතා පෙන්වා දෙයි. එම නිසා එම ගැටළු විසඳාගැනීම, අදාළ වේදීකාවන්හි කතා නොකර නිශ්ශබ්දව සිට රෝගී ජීවිත ඇපයට ගැනීම නිර්ලජ්ජිත සටන් උපාය මාර්ගයකි. එපමණක් නොව මෙරට සෞඛ්‍ය සේවාවේ කිසිදු විශේෂඥ වෛද්‍යවරයෙකු මෙම වර්ජන ක්‍රියාමාර්ගයට සම්බන්ධ වී නොමැත. තවද රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංසදය පෙන්වා දෙන්නේ තමන් වර්ජන ක්‍රියාමාර්ග මගින් රෝගී ජීවිත බිල්ලට ගැනීමට තරයේ විරුද්ධ බවත්, ඕනෑම රජයක් හෝ බලධාරියෙකු සමග සහයෝගයෙන් එම ඉල්ලීම් දිනා ගැනීමට තම සංසදයේ සහයෝගයද ලබා දෙන බවයි.

උදාහරණයක් වශයෙන් පොළොන්නරුව මහ රෝහල වෙත පැමිණි රෝගීන් 3500ක් ආපසු හැරී ගිය බවට පළ වන ප්‍රවෘත්තිය සම්පූර්ණයෙන් අසත්‍ය බව තහවුරු කරන අතර, එය සත්‍යයක් වූවා නම් එම සත්‍යය රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සළකන්නේ ජයග්‍රහණයක් ලෙසද? දිස්ත්‍රික්කයේ අනෙකුත් රෝහල් හා සැසඳීමේදී පොළොන්නරුව මහ රෝහලේ කටයුතු හොඳින් සිදු වූ බව රෝහල් අධ්‍යක්ෂ සම්පත් ඉන්දික කුමාර මහතා පෙන්වා දුන්නේය. සියලු වාට්ටුවල ප්‍රතිකාර කටයුතු සාමාන්‍ය පරිදි සිදුවූ බවත් වකුගඩු, මාතෘ, පිළිකා සහ ළමා සායනද සාමාන්‍ය පරිදි පැවැත්වුණු බවත් අධ්‍යක්ෂවරයා සඳහන් කළේය.

කොළඹ ජාතික රෝහල, මහනුවර, පේරාදෙණිය, කරාපිටිය, අනුරාධපුර, කුරුණෑගල, පුත්තලම, ගම්පහ, දික්ඔය, දඹුල්ල, නාවලපිටිය, අම්පාර ආදී රෝහල් වලද තත්ත්වය එසේමයි. නමුත් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පෙරකී රෝහල් වල වර්ජනය සාර්ථක බව වාර්තා කිරීමට ගත් උත්සාහයම, ඒ ප්‍රදේශවල ජනතාව දැනුම්වත් කිරීමටත් ගත්තේ නම් කෙතරම් අගනේද? එමෙන්ම මහජන මුදලින්ම අධ්‍යාපනය ලැබූ වෛද්‍යවරුන් වශයෙන් එවන් සේවාවක් සිදු කිරීම වඩා සුදුසු බව ඔබට නොතේරුණේ ඇයිදැයි නොවැටහේ.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසන පරිදි දෙසතියක් තුළ ඔවුන් ගන්නා බරපතල වෘත්තීය ක්‍රියාමාර්ගය කුමක්දැයි ප්‍රශ්නාර්ථයක්ව පවතී. එය තව තවත් රෝගී ජීවිත සමග සිදු කරන දේශපාලන ක්‍රීඩාවක් නම් එය ඉතා බරපතල තත්ත්වයකි. නමුත් අදාළ බලධාරින් සමග සම අසුන්ව මේ පිළිබඳ සාකච්ඡා කොට රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ මතය නිවැරදි කර ගත හැකි නම්, වෛද්‍ය වෘත්තියේ නාමයෙන් ඔවුන් ලැබූ අධ්‍යාපනයට වටිනාකමක් ලැබෙනු ඇත. මන්දයත් එම සංගමය නගන චෝදනා සියල්ල මහජනතාව ඉදිරියේ රඟ දැක්වෙන දේශපාලන නාටකයක් පමණක් වීමයි.

වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතිය පිළිබඳ නිකුත් කිරීමට නියමිත ගැසට් නිවේදනය මුද්‍රණයට යවා ඇති මොහොතක, මෙම වර්ජනය ක්‍රියාත්මක කළේ එහි ගෞරවය එම සංගමයට ලබා ගැනීමටද? නැතහොත් නොදැනුවත්කමින්ද? රජයේ රෝහල්වල බාල බෙහෙත් ලබා දෙන බව ප්‍රකාශ කරන්නේ එම ඖෂධ නිර්දේශ කරන්නේ වෛද්‍ය විශේෂඥ කමිටුවකින්ම බව නොදැනද? නැතහොත් ඖෂධ නියාමන කොමිෂන් සභාවක් ස්ථාපිත කර ඇති බව නොදැනද? එම නිසා අමාත්‍යවරයා සමග පවතින පෞද්ගලික හෝ දේශපාලන කොන්තර පසෙක දමා, රෝගී ජීවිත වෙනුවෙන් යථාර්ථවාදීව ක්‍රියාත්මක වෙමු. 

ඒ සඳහා යහපත් චේතනාවෙන් ක්‍රියාත්මක වන්නේ නම්, රජයේ මුදලින් ගෙන්වන ඖෂධ රෝගීන්ට ලබා නොදී ගිල ගන්නේ කවුදැයි සොයා යාමට අපගේ සහායද නොපැකිලව අපි ලබා දෙන්නෙමු. දෙපසට වී එකට එක කිරීමේ න්‍යාය පසෙකලා, එක මේසයක, සියලු පාර්ශව සමග සාකච්ඡා කොට නිවැරදි ක්‍රමය හඳුනාගමු. සරළවම කිවහොත් රෝගී ජීවිත ඇපයට තබා ගැනීමේ ක්‍රියාවවලිය හැර වෙනත් ඕනෑම ක්‍රියාවවලියකට එළැඹෙමු. ඔබ සංවිධානයේ දේශපාලන උපැස් ගලවා දමා මොහොතක් සිතන්න....

වෘත්තීය අයිතිවාසිකම් දිනාගත යුතුව ඇත. ඒ සඳහා අරගල කළ යුතුව ඇත. එහෙත් ඒ දෙකටම සදාචාරයක් තිබිය යුතුය. මානව දයාව සහ ආත්මකථනයක් තිබිය යුතුය. 

මන්දයත් මේ සිදු කරන ගණුදෙනුවේ එක් පසෙක සිටින්නේ හඬන පණනලය. ඒ තරම් සම්, මස්, ඇට, නහර මිරිකා මේ තරම් රෝගීන් අප හරවා යැවූයේයැයි, මේ තරම් රෝගීන්ට අප ප්‍රතිකාර නොකළේයැයි, මේ තරම් රෝගීන් මරණීය නිම්නයකට ඇද දැමුවේයැයි උදම් අනන්නට තරම් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මූලිකයන් තුළ ජීවත්වන නිර්ලජ්ජිත ජීවියා කවුද? අවසානයේ සනාථවන අවාසනාවන්ත සත්‍යය වනුයේ මේ කතාවේ මාතෘකා පාඨය නොවේද? හිපොක්‍රටීස් ජීවත්ව සිටියේ නම් GMOA නමැති සර්පයා දෂ්ට කරන අයුරු දැක තම සැරයටිය හැර දමා දිව යනු ඇත.

සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යංශය