ගෝඨා ප්‍රජාතන්ත්‍රවාදය හදන්නෙ මෙහෙමයි !

ගෝඨා ප්‍රජාතන්ත්‍රවාදය හදන්නෙ මෙහෙමයි !

24 August 2019 09:14 pm

2015 ට පෙර පැවති රජය යටතේ ආරක්ෂක ලේකම්වරයා ලෙස තමා රටතුළ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීම සඳහා විශාල කාර්යභාරයක් ඉටුකළ බවත් එම වැඩපිළිවෙල ජනාධිපතිවරයා ලෙස තවදුරටත් ඉදිරියට ගෙනයාම තමාගේ අභිප්‍රාය බවත් පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ අද (24) කොළඹ නෙළුම් පොකුණ රඟහලේ පැවති පොදුජන තරුණ පෙරමුණේ ජාතික සම්මේලනයට සහභාගි වෙමිනි.

එදා ත්‍රස්තවාදය පරාජය කොට ජනතාවට ජීවත්වීම සඳහා සාමකාමී වටපිටාවක් ඇති කිරීමට කටයුතු කටයුතු කළ ආකාරයෙන්ම ඉදිරියේදී සියලු ආගමිකයන්ට ඔවුන්ගෙ ආගම් ඇදහීමේ නිදහස, මාධ්‍යවේදීන්ට ඔවුන්ගේ මාධ්‍ය වගකීම ඉටු කිරීමේ නිදහස, ජනතාවට අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස තමාගේ නායකත්වයෙන් උපරිම ලබාදෙන බවයි ගෝඨාභය රාජපක්ෂ මහතා පෙන්වා දෙන්නේ.

අද වනවිට බුද්ධි අංශ කඩාවැටී ජාතික ආරක්ෂාව අර්බුදයට ගොස් ඇති බවත් ඉදිරියේදී බුද්ධි අංශ නැවත ප්‍රතිෂ්ඨාපනය කර ජාතික ආරක්ෂාව තහවුරු කිරීම ප්‍රමුඛතම කාර්යයක් වන බවත් ඒ සඳහා තමා මැදිහත් වන බවත් පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා පවසයි.

අධ්‍යාපනය, රැකියා, ක්‍රීඩා ඇතුළු තරුණ තරුණියන්ට බලපාන ක්ෂේත්‍ර ගණනාවක ගැටලු විසඳීම සඳහා තමා මැදිහත් වන බව ද ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කළේය.