සංශෝධිත ක්‍රීඩා පනත හමුවේ තිලංග දැවී යයි !

සංශෝධිත ක්‍රීඩා පනත හමුවේ තිලංග දැවී යයි !

24 August 2019 07:11 pm

සූදු සහ ඔට්ටු තැබීමේ ව්‍යාපාරවල නිරත පවුල්වල සාමාජිකයන් ක්‍රීඩා සංගම්වල නිළතල දැරීම වලක්වාලන නීති-රීති ක්‍රීඩා පනතට ඇතුළත් කිරීමට ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පියවර ගෙන තිබේ. එම සංශෝධනවලට අදාල ගැසට් නිවේදනය පසුගිය 23 වැනිදා නිකුත් වූ අතර ඒ අනුව නව සංශෝධිත ක්‍රීඩා පනත 2019 අගෝස්තු 21 වැනිදා සිට බලපැවැත්වේ.

ඒ අනුව සූදු සහ ඔට්ටු තැබීමේ ව්‍යාපාරවල නිරත වන පුද්ගලයන්ට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට මින් ඉදිරියට ක්‍රීඩා සංගම්වල කිසිදු තනතුරක් දැරීම තහනම් වේ.

මෙම සංශෝධනය පනතට ඇතුළත් කිරීම සම්බන්ධයෙන් දශක කිහිපයක් තිස්සේ කතාබහට ලක් වූ නමුත් ඊට අදාල පියවර ගැනීමට පසුගිය කාලයේ බලයේ සිටි කිසිදු ක්‍රීඩා ඇමතිවරයෙකු අත තැබුවේ නැත. ඊට ප්‍රධානතම හේතුව වූයේ සූදු සහ ඔට්ටු තැබීමේ ව්‍යාපාරවල නිතර පුද්ගලයන්ගේ බලාධිකාරයයි. එම බලාධිකාරය ඉදිරියේ පසු බැසීමට පත්වූ සියලු ක්‍රීඩා අමාත්‍යවරුන්ට සිදු විය.

එසේ තිබියදී වත්මන් ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාට ඒ සඳහා කොන්දක් තිබීම හා කොන්ද කෙලින් තබාගෙන වැඩ කිරීමට හැකිවීම පැසසිය යුත්තකි.

මෙරට ක්‍රීඩා ක්ෂේත්‍රය තුළ වඩාත්ම ඔට්ටු තැබීම් හා ගෑවී තිබෙන්නේ මෙරට ජනප්‍රියම ක්‍රීඩාවද වන ක්‍රිකට්ය. දශකයකට වැඩි කාලයක් තිස්සේ ක්‍රිකට් පරිපාලනයේ තනි හා එකම තීරකයා වූ තිලංග සුමතිපාල මහතා ද සෘජුවම ඔට්ටු තැබීමේ ව්‍යාපාරවලට සම්බන්ධතා දක්වන්නෙකි. එසේම ඔහු දේශපාලන බලය ද භාවිතා කරමින් කිසිදු හිරිකිතයක් නොමැතිව ඔට්ටු තැබීමේ ව්‍යාපාරය හා ක්‍රිකට් පරිපාලන ව්‍යාපාරය සම සමව ක්‍රියාත්මක කළේය.

අවසන් වරට පැවති නිළවරණය සඳහා ඔහුට ඉදිරිපත්වීමට නොහැකි වුවද ක්‍රිකට් පරිපාලකයන් තෝරන ඡන්ද මල්ල ඇත්තේ ඔහු සතුවයි. ඒ අනුව එම ඡන්ද මල්ල ඔහුට අවශ්‍ය පරිදි භාවිතා කරමින් තමන්ගේ හිතෛශීන් බලයට පත් කරමින් තවමත් තිරය පිටුපස සිටිමින් ඔවුන් මෙහෙයවමින් සිටී.

කෙසේ වෙතත් මින් ඉදියට ඔහුට කිසි ක්‍රිකට් ආයතනයේ කිසිදු නිළයක් සඳහා පත්වීමට නොහැකි වනු ඇත.

මේ සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යංශයට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ප්‍රසාදය ද හිමිව තිබේ. මෙම සංශෝධනය පනතට එකතු කිරීමට පෙර අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ජගත් ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ශෂන්ක් මනෝහාර් හමු වී ඒ පිළිබඳව සාකච්ඡා පැවැත්වූ අතර එහිදී මනෝහාර් මහතා අවශ්‍ය සියලු සහයෝගය ලබා දී තිබේ.

මෙම සංශෝධන ක්‍රීඩා පනතට එකතු කිරීමට අදාලව එහි නීතිමය කටයුතු පිළිබඳව සොයා බැලූ නීතිඥ පණ්ඩුක කීර්තිනන්ද මහතා පවසන්නේ මෙය ක්‍රීඩා අමාත්‍යවරයා විසින් සිදුකළ අතිශය ප්‍රශංසනීය කටයුත්තක් බවයි. ක්‍රිකට් ක්‍රීඩාවට පමණක් නොව ක්‍රීඩා අමාත්‍යංශය යටතේ ලියාපදිංචි වී ඇති ක්‍රීඩා 66 සඳහාම මෙම සංශෝධනය අදාල වන බවත්, ඒ අනුව එම කිසිම ක්‍රීඩාවක පරිපාලන කටයුතු සඳහා, සූදු සහ ඔට්ටු තැබීමේ ව්‍යාපාරවලට සම්බන්ධ පුද්ගලයන් ඇතුළුවීම වලක්වා තිබෙන බවත් ඔහු පවසයි.

තිලංග සුමතිපාල මහතා මේ වනවිට ක්‍රිකට් ආයතනයේ විධායක කමිටු සාමාජිකයෙකු ලෙස කටයුතු කරයි. ඒ ආසන්නතම හිටපු සභාපතිවරයා ලෙස නිළ බලයෙන් ඔහුට හිමිව ඇති විධායක කමිටු සාමාජිකත්වය අනුවයි. කෙසේ වෙතත් නව පනත ප්‍රකාරව එක්කෝ ඔහුට ඉන් ඉල්ලා අස්වීමට සිදු වේ. එසේ නොමැති වුවහොත් ඔහුව නෙරපා හැරීමට සිදු වන බවයි වාර්තා වන්නේ.