රටඉඳි ගස් වැවුවෙ වෙන දේවල් වවන්න බැරි නිසා - කාත්තන්කුඩි නගරාධිපති

රටඉඳි ගස් වැවුවෙ වෙන දේවල් වවන්න බැරි නිසා - කාත්තන්කුඩි නගරාධිපති

23 August 2019 11:04 am

කාත්තන්කුඩි නගරයේ රටඉඳි ගස් සිටුවනු ලැබුවේ නගරය අරාබියක් බවට පත් කිරීමට නොව අධික උෂ්ණත්වයට ඔරොත්තු දිය හැකි වෙනත් ශාක සිටුවීමට නොහැකි නිසා යැයි කාත්තන්කුඩි පුරපති අල්හාජ් එස්.එච්.මොහම්මඩ් අස්ෆර් මහතා ප්‍රකාශ කළේය.

වර්ෂ 2007 දී තමන් එහි උප සභාපතිව සිටියදී නගරයේ මහා මාර්ගය පුළුල් කිරීමත් සමඟ මාර්ගය මධ්‍යයේ ඇති පටු තීරුව තුළ ගස් සිටුවීමට යෝජනා වුණු බවත් එහිදී farm tree සිටුවීමට සැලසුම් කළ නමුත් අධික උෂ්ණත්වය නිසා එම පැළ සිටුවීම අසාර්ථක වුණු බව ඒ මහතා කීවේය.

ගාල්ල මාර්ගයේ බම්බලපිටිය වැනි ප්‍රදේශවල සිටුවා ඇති farm tree ශාක නිරීක්ෂණය කර ඒ අනුව එම ගස් කාත්තන්කුඩියේ සිටුවීමේ සැලැස්ම අසාර්ථක වුණු නිසා ඊට උචිත පරිදි රට ඉඳි ගස් සිටුවීමට තීරණය කළ බව මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ මහතා කීහ.

වර්ග කිලෝමීටර් හයක පමණ වපසරියකින් යුතු නගරයේ මාර්ගය මධ්‍යයේ තීරුව මත සිටුවා ඇති රට ඉඳි ගස් සියල්ලම ශ්‍රී ලංකාවෙන් සපයා ගත් ගස් වන බවත් ඇතැම් රට ඉදි ශාක බණ්ඩාරවෙලින් පවා ගෙනැවිත් සිටවූ බව කී පුරපතිවරයා මෙසේ ද ප්‍රකාශ කළේය.

මේ රට ඉඳි ගස් සම්බන්ධයෙන් විවිධ කථා අද පැතිර යනවා. නගර සභාවේ යෝජනාවක් අනුව සිටුවන ලද ගස් තුළින් නගරයට අලංකාරයක් හා උෂ්ණත්වයට ඔරොත්තු දෙන ගස් සිටුවීමට උත්සහ කළා මිස කාත්තන්කුඩිය පුංචි අරාබියක් කරන්න උත්සහ කළේ නැහැ. නගරයේ රට ඉඳි ගස් හැත්තෑපහක් පමණ සිටුවා ඇති අතර ඊටත් වඩා වැඩි ප්‍රමාණයකින් එම තීරුව තුළ බෝගන්විලා ගස් සිටුවා තිබෙනවා. ඒ ගැන කවුරුත් කථා කරන්නේ නැහැ. අනික farm tree ගස් ලංකාවට ගෙන එන්නේ මැලේසියාවෙන්.

කාත්තන්කුඩි නගරයේ සිටුවා ඇති රටඉඳි ගස් සපයා ගත්තේ මුලතිව්, කිලිනොච්චි, පුත්තලම, මන්නාරම, අම්පාර, බදුල්ල, බණ්ඩාරවෙල වැනි ප්‍රදේශවලින් ගලවා ගෙන ගෙනැවිත් මෙහි සිටවුවා. වෙනත් රටකින් ගෙන එන ලද්දක් නොවන බව පුරපති අල්හාජ් එස්.එච්.මොහම්මඩ් අස්ෆර් මහතා වැඩිදුරටත්  ප්‍රකාශ කළේය.

නුවර නදීක දයා බණ්ඩාර