එජාප සන්ධානය පිහිටුවීම අපේක්ෂකයා නම් කිරීමෙන් පසු !

එජාප සන්ධානය පිහිටුවීම අපේක්ෂකයා නම් කිරීමෙන් පසු !

17 August 2019 03:18 pm

එක්සත් ජාතික පක්ෂයෙන් මූලිකත්වයෙන් ගොඩනැගීමට නියමිත සන්ධානයේ ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට තීරණය කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් අවසන් තීරණය ගැනීම සඳහා අද අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ නිවසේදී විශේෂ සාකච්ඡාවක් පැවත්විණි.

මීට පෙර මෙම ව්‍යවස්ථා කෙටුම්පත එජාප නායකයා විසින් පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය වෙත ඉදිරිපත් කළ අතර ඒ සඳහා කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සාමාජිකයන් පිරිසකගේ දැඩි විරෝධය එල්ල විය.

අද පැවති සාකච්ඡාවේදී මේ සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇති අතර එහිදී තීරණය වී ඇත්තේ කලින් සකස් කර තිබූ ව්‍යවස්ථා කෙටුම්පතට එල්ල වූ විරෝධය ද සලකා බලා, නව යෝජනා සැලකිල්ලට ගෙන නව ව්‍යවස්ථාවක් සම්පාදනය කළයුතු බවයි.

ඒ අනුව නව සන්ධානයේ ලේකම් ධුරය, බහුතරය නියෝජනය කරන එජාපයට හිමිවන අතර සන්ධානයේ වැඩි බලතල ද එජාපයට හිමි වේ.

මීට අමතරව සන්ධානයේ ජනාධිපති අපේක්ෂකයා තේරීමේ අවස්ථාව එජාපයට හිමි වේ. එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සහ පාර්ලිමේන්තු කණ්ඩායමේ බහුතර එකඟතාවයෙන් ජනාධිපති අපේක්ෂකයා තෝරා ගැනීමට නියමිත අතර සන්ධානගතවන දේශපාලන පක්ෂ හා සංවිධාන අතර ගිවිසුම් අත්සන් කරන්නේ එජාපය විසින් ජනාධිපති අපේක්ෂකයා නම් කිරීමෙන් පසුවයි.

අද පැවති සාකච්ඡාව සඳහා එජාපය, මුස්ලිම් කොන්ග්‍රසය, ජාතික හෙළ උරුමය ඇතුලු පාර්ශ්වය ගණනාවක් නියෝජනය කරමින් නියෝජිතයන් සහභාගි වූ අතර රිෂාඩ් බදුර්දීන් මහතා සහ පලනි දිගම්බරම් මහතා අත්‍යවශ්‍ය වෙනත් කටයුතු හේතුවෙන් සහභාගි නොවූ බවයි වාර්තා වන්නේ.

UN