පළාත් සභා මැතිවරණය පස්සට: මැකෝගේ ඉල්ලා අස්වීමත් පස්සට

පළාත් සභා මැතිවරණය පස්සට: මැකෝගේ ඉල්ලා අස්වීමත් පස්සට

22 July 2019 08:09 pm

ජනාධිපතිවරණය පැවැත්වීම කිසිසේත් කල්නොයන අතර එය අනිවාර්යෙන්ම නොවැම්බර් මස 15 ත් දෙසැම්බර් මස 7 වැනි දිනත් අතර කාලයේ දී පැවැත්වෙන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය පවසයි. ඔහු මේ බව සඳහන් කර සිටියේ රාජගිරිය, මැතිවරණ කොමිසන් සභා ශ්‍රවණාගාරයේ අද (22) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.

ජනාධිපතිවරයා සිය ධූරකාලය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මතය විමසීමක් සිදු නොකරන බව ජනාධිපතිවරයා සමඟ පැවැති සාකච්ඡාවලදී අනාවරණය වූ බවද එහිදී සභාපතිවරයා පැවසීය.

ඒ නිසා ලෝක විනාශය හෝ මුරුගසන් වරුසාව ඇති වුණොත් මිසක වෙනත් කිසිදු හේතුවක් මත ජනාධිපතිවරණය කල් නොයන බවද එහිදී මහින්ද දේශප්‍රිය පැවසීය.

ඉදිරි ජනාධිපතිවරණය සඳහා රුපියල් කෝටි 400ක පමණ වියදමක් දැරීමට සිදුවන බවද ඔහු කීය.

ඉල්ලා අස්වීම ගැන ආයෙත් හිතනවා !

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය සඳහන්කර සිටියේ ජනාධිපතිවරණයට පෙර පළාත් සභා මැතිවරණය පැවැත්වීමට නොහැකි වුවහොත් සභාපති තනතුරින් ඉල්ලා අස්වන බවට සිදුකළ ප්‍රකාශය ගැන නැවත සිතා බැලීමට සිදුවන බවය.

පවතින තත්ත්වය අනුව පළාත් සභා මැතිවරණය ජනාධිපතිවරණයට පෙර පැවැත්වීමට හැකි වනුයේ අධිකරණ තීන්දුවකින් බවද ඔහු පවසා සිටියේය.

සභාපති තනතුරින් ඉවත් වීමට කටයුතු කළහොත් ජනාධිපතිවරණයට නාමයෝජනා කැඳවීම ක්‍රියාවලියට බාධාවිය හැකි බවට බොහෝ දෙනෙකු පෙන්වා දී තිබෙන බවද ඔහු සඳහන් කළේය.