ජනාධිපතිට වංගු ගහන්න බෑ - ජවිපෙ

ජනාධිපතිට වංගු ගහන්න බෑ - ජවිපෙ

22 July 2019 06:00 pm

ර‍ටේ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට වග කියන පුද්ගලයෙකු බැවින් පාර්ලිමේන්තුව විසින් පත්කළ තේරීම් කාරක සභාව ඉදිරියට පැමිණීම ප්‍රතික්ෂේප කළ නොහැකි බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් රජයේ ප්‍රධානියා ලෙස ඔහු ගත් තීන්දු තීරණ සම්බන්ධයෙන් තේරීම් කාරක සභාව හමුවට පැමිණ පැහැදිලි කළයුතු බවයි ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසන්නේ.

ජනතා විමුක්ති පෙරමුණ විසිනි අද (22) පැවැත්වූ මාධ්‍ය හමුවේදී විජිත හේරත් මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33(අ) වගන්තියට අනුව පාර්ලිමේන්තුව ප්‍රතික්ෂේප කිරීමේ හැකියාවක් ජනාධිපතිවරයාට නොමැති බැවින් තේරීම් කාරක සභාව හමුවට පැමිණීම ප්‍රතික්ෂේප කිරීමට හෝ වංගු ගැසීමට හෝ ජනාධිපතිවරයාට අයිතියක් නොමැති බවයි මන්ත්‍රීවරයා පවසන්නේ.

ජනාධිපතිවරයාගේ ධුර කාලය සම්බන්ධයෙන් විවිධ කතාබහ නිර්මාණය වී තිබුණද 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය හරහා ධුර කාලය වසර 05 කට සීමා කිරීම වත්මන් ජනාධිපතිවරයාටද බලපවත්නා බැවින් මෛත්‍රීපාල සිරි‍සේන මහතාගේ ධුර කාලය 2020 ජනවාරි 08 වැනිදා අහෝසි වන බව ද විජිත ‍හේරත් මහතා පවසයි.

එය මීට පෙර ජනාධිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසූ අවස්ථාවේදී තහවුරු වූ බවත් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය අනුව ජනාධිපතිවරයාගේ ධුර කාලය 2015 ජනවාරි 09 වැනිදා සිට ආරම්භ වන අතර එය එතැන් පටන් වසර 05 ක් බලපැවැත්වෙන බවත් මන්ත්‍රීවරයා පවසයි. ඒ නිසා ධුර කාලය සම්බන්ධයෙන් නැවතත් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමේ කිසිදු අවශ්‍යතාවයක් නොමැති බවයි ඔහු පවසන්නේ.

UN