ඇමති රුවන්ගේ අලුත් සභාපති නිසා ජාතික රූපවාහිනිය පඹ ගාලක් වෙයි

ඇමති රුවන්ගේ අලුත් සභාපති නිසා ජාතික රූපවාහිනිය පඹ ගාලක් වෙයි

22 July 2019 04:30 pm

ජාතික රූපවාහිනියේ නව සභාපතිවරයා තමන් යැයි කියා ගනිමින් රූපවාහිනී පරිශ්‍රයට පැමිණි පුද්ගලයෙකු නිසා අද (22) දහවල් එහි උණුසුම් තත්ත්වයක් ඇති විය.

කැබිනට් නොවන ජනමාධ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා විසින් රූපවාහිනී සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස සංජීව විජේගුණවර්ධන පත්කර ඇති අතර ඊට අදාල ලිපියට අමාත්‍යවරයා අත්සන් තබා ඇත්තේ පසුගිය 18 වැනිදාය. කෙසේ වෙතත් මේ වනවිට ඉනෝකා සත්‍යාංගනී මහත්මිය සභාපතිවරයා ලෙස කටයුතු කරන අතර ඇය මෙතෙක් ඉල්ලා අස්වීමක් හෝ ඉවත් කිරීමක් සිදුකර නොමැත.

සභාපති ධුරයෙන් ඉවත් වන ලෙස ඇමතිවරයා පසුගියදා ඉනෝකා සත්‍යාංගනී මහත්මියගෙන් ඉල්ලා ඇති බව වාර්තා වන අතර කෙසේ වෙතත් ඇය එය ප්‍රතික්ෂේප කර තිබේ. ඒ රුවන් විජේවර්ධන ඇමතිවරයාට තමන්ව ඉවත් කිරීමට බලයක් නොමැති බව පවසමිනි.

මේ අතර සංජීව විජේගුණවර්ධන මහතාගේ පත්වීම නීත්‍යනුකූල නොවන බවයි වාර්තා වන්නේ. සංස්ථා සහ ව්‍යවස්ථාපිත මණ්ඩල සඳහා සභාපතිවරුන් සහ අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයන් පත්කිරීම පිළිබඳ කමිටුව ද ඔහුගේ පත්වීම ප්‍රතික්ෂේප කර ඇති අතර ඊට හේතුව ලෙස සඳහන් කර ඇත්තේ රුවන් විජේවර්ධන ඇමතිවරයාගේ පත් කිරීම සඳහා ජනාධිපතිවරයාගේ අනුමැතිය හිමි නොවීමයි.

ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මහතා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයාට එවූ ලිපියක සඳහන් වන්නේ ජාතික රූපවාහිනිය සඳහා නව සභාපතිවරයෙකු පත් කිරීම සඳහා ජනාධිපතිවරයා අනුමැතිය ලබා දී නොමැති බවයි. ඒ අනුව රුවන් විජේවර්ධන අමාත්‍යවරයාගේ පත්කිරීම නීත්‍යනුකූල නොවන බව පැහැදිලිය.

ඉනෝකා සත්‍යාංගනී මහත්මිය ජාතික රූපවාහිනියේ සභාපති තනතුර පත් කළේ හිටපු ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසිනි. මීට පෙර ඇය ඉවත් කර සුදර්ශන ගුණවර්ධන මහතා පත් කිරීමට යෝජනා වුවද ඒ සඳහා ජනාධිපතිවරයාගේ එකඟතාවය හිමි නොවීය. ඉන්පසු සභාපති තනතුරට ශාන් විජේතුංග මහතාගේ නම යෝජනා විය. කෙසේ වෙතත් සංස්ථා සහ ව්‍යවස්ථාපිත මණ්ඩල සඳහා සභාපතිවරුන් සහ අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයන් පත් කිරීම පිළිබඳ කමිටුව ඊට විරෝධය පළ කළේය.

UN