ගුවන් හමුදාව සාගර සම්පත් නිරීක්ෂණයට එක්වෙයි (VIDEO)

ගුවන් හමුදාව සාගර සම්පත් නිරීක්ෂණයට එක්වෙයි (VIDEO)

21 July 2019 11:30 pm

ශ්‍රී ලංකා භූ තලයට පමණක් සීමා නොවී ඉන් ඔබ්බට ගොස් මෙරට සාගර සම්පත් නිරීක්ෂණය හා ආරක්ෂා කිරීම පිළිබදව වැඩි අවධානයක් යොමු කරන බව ගුවන් හමුදාපති එයාර් මාෂල් සුමංගල ඩයස් මහතා ප්‍රකාශ කළේය.

ඒ සම්බන්ධව නව වැඩසටහනක් ක්‍රියාත්මක වෙමින් පවතින බව අද (21) මහනුවර පැමිණි නව ගුවන් හමුදාපතිවරයා අස්ගිරි හා මල්වතු පාර්ශවයන්හි මහා නායක හිමිපණන් වහන්සේ බැදැ දැකීමෙන් පසු මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළේය.

යුද හමුදාවට ගොඩබිම, නාවුක හමුදාවට සාගරය මෙන්ම ගුවන් හමුදාවට ද කලාපයක් වෙන් වී තිබුණත් ගොඩබිම හා සාගරයට අයත් ගුවන් කලාපය තුළ ද සිය මෙහෙයුම් දියත් වන බව  ගුවන් හමුදාපතිවරයා කීවේය.

ගුවන් යානා සහ දැනට පවතින උපකරණ වැඩිදියුණු කිරීම මගේ වැඩපිළිවෙලෙහි ප්‍රධාන අංගයක්. අප සතු ගුවන් යානා මේ සඳහා යොදවන අතර අවශ්‍ය දත්ත හා නිරීක්ෂණ ලබා ගැනීම සඳහා පවතින උපකරණ වැඩිදියුණූ විය යුතුයි. නවීන තාක්ෂණික උපකරණ යොදා ගැනීම මගින් ගුවන් හමුදාවේ කාර්යක්ෂමතාවය වැඩිකළ හැකියි."

ඉදිරි ඇසළ පෙරහැර ආරක්ෂක කටයුතුවලදී ජනාධිපතිවරයාගේ උපදෙස් මත ආරක්ෂක අමාත්‍යංශය දියත් කරන ආරක්ෂක වැඩසටහන් සඳහා ගුවන් හමුදාව සිය උපරිම දායකත්වය ලබා දෙන බව ද සුමංගල ඩයස් මහතා සඳහන් කළේය.

අස්ගිරි මහ විහාරයේදී අස්ගිරි පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ඤාණරතන හිමියන් බැහැ දුටු ගුවන් හමුදාපතිවරයා අනතුරුව මල්වතු මහ විහාරයේදී එම පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමියන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය.

ඉදිරි ඇසළ පෙරහැර අවස්ථාවේදී ආරක්ෂක කටයුතු සඳහා ගුවන් හමුදාවේ  ද දායකත්වයක් ලැබිය යුතු යැයි කී අස්ගිරි පාර්ශවයේ මහ නායක හිමියෝ ඉකුත් තිස් අවුරුදු ත්‍රස්තවාදී යුද්ධය නිමා කිරීම සදහා වත්මන් ගුවන් හමුදාපතිවරයා දැක්වූ සක්‍රීය දායකත්වය අගය කරන බව ද කීහ.

නදීක දයා බණ්ඩාර - මහනුවර