කුරුණෑගල මහේස්ත්‍රාත්ට උසාවි සැරයන්ගෙන් පැසසුම්

කුරුණෑගල මහේස්ත්‍රාත්ට උසාවි සැරයන්ගෙන් පැසසුම්

20 July 2019 09:32 pm

වෛද්‍ය සාෆි සහාබ්දීන් මහතාට එරෙහිව ගොනුකර ඇති නඩුව ඊයේ (19) කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවා තිබිණි. ඒ අනුව වෛද්‍යවරයා සම්බන්ධයෙන් සිදු කරන රහස් පොලිස් පරීක්ෂණවල ප්‍රගතිය වාර්තා කිරීම සඳහා රහස් පොලිස් නිළධාරීන් කුරුණෑගල අධිකරණය වෙත වාර්තා කර තිබිණි.

මෙකී නඩුව කැඳවූ අවස්ථාවේදී රහස් පොලිස් නිලධාරීන් කරුණු දැක්වීමට සූදානම් වූ අතර එහෙත් කුරුණෑගල මහේස්ත්‍රාත්වරයා ඒ සඳහා අවස්ථාව ලබා දී නොමැත. මහේස්ත්‍රාත්වරයා පවසා ඇත්තේ වෛද්‍යවරයා සම්බන්දයෙන් සිදු කරන පරීක්ෂණ ක‍ටයුතුවලින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉවත් කර ඇති නිසා එම නිළධාරීන්ට අධිකරණය ඉදිරියේ කරුණු දැක්වීමට කිසිදු බලයක් නොමැති බවයි.

‍මහේස්ත්‍රාත්වරයාගේ මෙම ප්‍රකාශයට හේතු වී ඇත්තේ සාෆි වෛද්‍යවරයා සම්බන්ධයෙන් සිදු කරන පරීක්ෂණ කටයුතුවලින් අපරාධ පරීක්ෂණ දෙපාර්ත‍මේන්තුව ඉවත් කරන්නැයි ඉල්ලා නීතිඥවරයෙකු විසින් ජාතික පොලිස් කොමිසම වෙත පැමිණිල්ලක් සිදු කිරීමයි. කෙසේ වෙතත් පරීක්ෂණ කටයුතුවලින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉවත් කිරීමේ අවශ්‍යතාවයක් නොමැති බව වැඩබලන පොලිස්පතිවරයා පොලිස් ‍කොමිසම වෙත ඊයේ දන්වා තිබිණි.

ඒ අනුව තවමත් අධිකරණයට කරුණු වාර්තා කිරීමේ බලය ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටයි.

කෙසේ හෝ රහස් පොලීසියට කරුණු දැක්වීමේ අවස්ථාව ලබා දී නොමැති අතර මහේස්ත්‍රාත්වරයා මෙම ප්‍රකාශය සිදු කිරීමත් සමග උසාවි සැරයන්වරයා මැද්දට පනිමින් ප්‍රකාශ කර ඇත්තේ මහේස්ත්‍රාත්වරයා විසින් ගෙන ඇත්තේ ඉතා විශිෂ්ට තීරණයක් යැයි පවසමින් මහේස්ත්‍රාත්වරයාව වර්ණනා කර තිබේ. අධිකරණය යනු යුක්තිය පසිඳලන ස්ථානයක් මිස අධිකරණ තීන්දු තීරණ හෝ පුද්ගලයන් වර්ණනා කරන තැනක් නොවන බව සිහිපත් නොවීම අවාසනාවකි.

මෙම නඩුව සඳහා පෙනී සිටින අතුරලියේ රතන හිමිගේ පාර්ශ්වය ද මහේස්ත්‍රාත්වරයා පසසමින් කරුණු දක්වා තිබේ. සාෆි වෛද්‍යවරයා සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අගතිදායක අන්දමින් පරීක්ෂණ සිදු කරන බවත් ඒ නිසා එකී පරීක්ෂණ සම්බන්ධයෙන් කිසිදු විශ්වාසයක් නොමැති බවත් වැඩිදුරටත් පවසා තිබේ.

මෙම නඩුව නිසා අධිකරණය කෝලම් මඩුවක් මට්ටමට වැටී තිබෙන අතර අධිකරණයට, නීතියට හා පොලීසියට විවිධ බලපෑම් කරමින් තමන්ට අවශ්‍ය තීන්දු ලබා ගැනීමට පාර්ශ්ව කිහිපයක් උත්සාහ දරමින් සිටී. ඒ අනුව යමින් අතුරලියේ රතන හිමි පසුගියදා ප්‍රකාශ කළේ, සාෆි වෛද්‍යවරයා වඳ සැත්කම් සිදුකර තිබේද යන්න හෙලිදරව් කර ගැනීම සඳහා වෛද්‍ය විද්‍යාත්මක පරීක්ෂණ සිදු නොකළ යුතු බවයි. 

මෙම නඩුවේ එක් ප්‍රධාන පාර්ශ්වයක් වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කරුණු දැක්වීමට අවස්ථාව ලබා නොදීම යුක්ති රීතිය උල්ලංඝනය කිරීමක් වේ. යුක්ති රීතියට අනුව දෙපාර්ශ්වයටම කන්දිය යුතු අතර තමන්ගේ නඩු තමන්ම නොඇසිය යුතුය. කුරුණෑගල මහේස්ත්‍රාත්වරයා මෙම රීතියේ කරුණු දෙකම උල්ලංඝනය කර ඇති අතර අනෙක් පැත්තෙන් නඩුව සඳහා වක්‍රාකාරයෙන් බලපෑම් කරමින් සිටී.

මෙම නඩුවේ පරීක්ෂණ කටයුතුවලින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉවත් කිරීම සඳහා පොලිස් කොමිසමට පැමිණිලි සිදුකර ඇත්තේ මහේස්ත්‍රාත්වරයාගේ අනුදැනුම මත බව වාර්තා වන අතර ඒ අනුව එය කෙතරම් සදාචාරාත්මකද යන ගැටලුව පැනනගී.

මෙම නඩුවේදී කුරුණෑගල මහේස්ත්‍රාත්වරයා අනුගමනය කරන ක්‍රියාකලාපය සම්බන්ධයෙන් දිගින් දිගටම ගැටළු පැනනැගි අතර ඔහු මීට පෙර මෙම නඩුවේ පාර්ශ්වකරුවෙකු නොවන කුරුණෑගල මහ රෝහලේ අධ්‍යක්ෂක සරත් වීර බණ්ඩාර මහතාට අධිකරණය හමුවේ කරුණු දැක්වීමට අවස්ථාව ලබා දී තිබිණි. ඔහු මෙම නඩුවට සම්බන්ධ විෂයය වන ප්‍රසව හා නාරිවේද වෛද්‍යවරයෙකු නොවන අතර එවැනි අවස්ථාවක් ලබාදීම බරපතල ගැටලුවකි.

රෝහල් අධ්‍යක්ෂකවරයා කරුණු දැක්වීමෙන් පසුව රහස් පොලීසිය අධිකරණ කාර්ය සටහන් ලබාගෙන තිබූ අතර සරත් වීර බණ්ඩාර මහතා අධිකරණය ඉදිරියේ කරුණු දැක්වූ බව එහි සටහන් කර නොතිබීම තවත් ගැටලුකි.

මේ වනවිට අදාල පරීක්ෂණ ක‍ටයුතු රහස් පොලීසියෙන් ඉවත් නොකිරීමට වැඩබලන පොලිස්පතිවරයා තීරණය කර ඇති අතර ඒ අනුව ඊළඟ නඩුවාරයේදී රහස් පොලිස් නිළධාරීන් අධිකරණය වෙත කරුණු දැක්වීමට නියමිතය.

විමර්ශන නිලධාරීන්ට බාධා කිරීම සම්බන්ධයෙන් රතන හිමිට එරෙහිව CIDය අධිකරණයට කරුණු දක්වයි
සාෆිගේ නඩුව : කුරුණෑගල ගරු මහේස්ත්‍රාත් ලැදියාවන් අතර ගැටුමක !
වෛද්‍ය සාෆි ගැන පරීක්ෂණ රතන හිමිට ඕනෑ හැටියටද?