අපි සිපෙට්කෝ එකට ණයයි, මුදල් අමාත්‍යංශය අපිට ණයයි - රවී කරුණානායක

අපි සිපෙට්කෝ එකට ණයයි, මුදල් අමාත්‍යංශය අපිට ණයයි - රවී කරුණානායක

15 July 2019 08:50 pm

ලංකා විදුලිබල මණ්ඩලය විසින් ඛනිජ තෙල් සංස්ථාවට ගෙවිය යුතු ණය මුදල රුපියල් කෝටි 6,900 දක්වා ඉහළ ගොස් ඇති බවත් එසේම මුදල් අමාත්‍යංශයෙන් විදුලි බල මණ්ඩලයට ලැබීමට නියමිත මුදල රුපියල් කෝටි 8,100 ක් බවත් විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

මුදල් අමාත්‍යංශය විදුලිබල මණ්ඩලයට අරමුදල් සැපයීම නතර කර ඒ වෙනුවට ණය ගැනීම සඳහා යෝජනා කරන බවත් විදුලිබල මණ්ඩලය අර්බුදයට ගොස් ඇත්තේ ඒ නිසා බවත් ඇමතිවරයා පෙන්වා දෙයි. මින් සිදුවන්නේ නිකරුනේ ආණ්ඩුවේ වියදම් වැඩිවන බවයි ඇමතිවරයා පවසන්නේ.

කුමන අර්බුද තිබුණද එහි බර පාරිභෝගිකයා මත පැටවීමට තමන් සූදානම් නොවන බව ද කරුණානායක මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ කතරගම පුදබිමේ පිවිසුම් මාර්ගවල විදුලි අඩුපාඩු සම්පූර්ණ කිරීමේ අවස්ථාවට සහභාගි වෙමිනි. මෙහිදී කතරගම පූජා භූමිය වෙත විදුලි ජනන යන්ත්‍රයක් පරිත්‍යාග කිරීම ද සිදු කෙරිණි.

මේ වනවිට විවිධ අවස්ථාවලදී රටේ විවිධ ප්‍රදේශවල විදුලි සැපයුම අඩාල වන බවට චෝදනා එල්ල වන බව පෙන්වා දුන් ඇමතිවරයා සඳහන් කළේ නිසි ජනන සැළැස්මක් නොමැති වීම ඊට හේතුව බවයි. ඒ සඳහා අමාත්‍යංශය සැළසුම් සහගතව කටයුතු කරමින් සිටින බවත් තවත් මාස 06 ක් ඇතුළත ඊට ස්ථිර විසඳුම් ලබා දීමට බලාපොරොත්තු වන බවත් ඇමතිවරයා පවසයි. ඒ සම්බන්ධයෙන් විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවන්ගේ අදහස් විමසා ස්ථාවර විදුලි ජනන සැළැස්මක් සහිත විදුලි පද්ධතියක් හඳුන්වා දෙන බව ද ඇමතිවරයා සඳහන් කරයි. 

UN