ඇමතිකම් දෙන්න ජනපති කැමතියි - දිවුරුම් දුන්නොත් රතන හිමිගෙන් උපවාස වෙනුවට විශ්වාස භංගයක්

ඇමතිකම් දෙන්න ජනපති කැමතියි - දිවුරුම් දුන්නොත් රතන හිමිගෙන් උපවාස වෙනුවට විශ්වාස භංගයක්

12 July 2019 07:24 pm

පාස්කු ප්‍රහාරයට අදාලව රිෂාඩ් බදුර්දීන් මහතාට එල්ල වූ විරෝධය හේතුවෙන් ඔහු දැරූ අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස් වූ අතර සෙසු මුස්ලිම් අමාත්‍යවරුද බදුර්දීන් මහතාට සහාය පළ කරමින් සිය අමාත්‍ය තනතුරුවලින් ඉල්ලා අස්වීමට කටයුතු කළේය.

කෙසේ වෙතත් ඉන් පසුව එජාපය නියෝජනය කරන කබීර් හෂීම් මහතා සහ අබ්දුල් හලීම් මහතා නැවත අමාත්‍ය තනතුරුවල දිවුරුම් දුන්නේය.

මේ අතර සෙසු මුස්ලිම් මන්ත්‍රීවරුන් ද නැවතත් අමාත්‍ය තනතුරුවල දිවුරුම් දීමට සූදානම් වන බව ඊයේ වාර්තා විය. හිටපු සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය ෆයිසාල් කාසිම් මහතා පවසන්නේ ඒ සඳහා ජනාධිපතිවරයා ද එකඟතාවය පළකර ඇති බවයි. රිෂාඩ් බදුර්දීන් අමාත්‍යවරයාගේ නිවැරදිභාවය මේ වනවිට බොහෝ සෙයින් තහවුරු වී ඇති බැවින් අමාත්‍ය තනතුරුවල දිවුරුම් දීමට තීරණය කළ බවයි ඔහු අද පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේ.

ඒ අනුව ඉදිරියේදී බදුර්දීන් මහතා ඇතුළු හිටපු මුස්ලිම් ඇමතිවරුන් නැවත තනතුරුවල දිවුරුම් දෙන බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

කෙසේ වෙතත් බදුර්දීන් අමාත්‍යවරයා තනතුරෙන් ඉවත් කිරීම සඳහා මාරාන්තික උපවාසය සඳහ ඉදිරිපත් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි පවසන්නේ යම් හෙයකින් බදුර්දීන් මහතා නැවත අමාත්‍ය ධුරයක දිවුරුම් දුනහොත් ඔහුට එරෙහිව නැවතත් විශ්වාස භංග යෝජනාවක් ඉදිරිපත් කරන බවයි. පොදුජන පෙරමුණ, ශ්‍රීලනිපය, එජාපය ඇතුළු සියලු පක්ෂවල මන්ත්‍රීවරුන්ගේ සහයෝගයෙන් එම විශ්වාස භංග යෝජනාව ගෙන එන බවයි රතන හිමි පවසන්නේ.

මීට පෙර ද බදුර්දීන් මහතාට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ඉදිරිපත් වූ අතර කෙසේ වෙතත් ඔහු ඇමති තනතුරින් ඉල්ලා අස්වූ නිසා එම යෝජනාව අහෝසි විය.

මීට පෙර බදුර්දීන් ඇමතිවරයා තනතුරෙන් ඉවත් කිරීමට රතන හිමි මාරාන්තික උපවාසයක් ආරම්භ කළද මෙවර එය විශ්වාස භංග යෝජනාවක් දක්වා සැර බාල වී තිබේ.

UN