අවසන් තරගයේ ලාංකික අපේ සළකුණ: මඩුගල්ලේ - ධර්මසේන

අවසන් තරගයේ ලාංකික අපේ සළකුණ: මඩුගල්ලේ - ධර්මසේන

12 July 2019 05:05 pm

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලෝක කුසලාන තරගාවලියේ මූලික වටයෙන්ම ඉවත් වුවද ශ්‍රී ලාංකිකයන් ලෙස ලෝකය ඉදිරියේ හිස ‍කෙලින් තබාගෙන සිටිය හැකි අවස්ථාවක් ලබන ඉරිදා (14) ලැබී තිබෙනවා. ඒ එංගලන්තය හා නවසීලන්තය අතර පැවැත්වෙන අවසන් තරගය සඳහා ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකුගේ නියෝජනයක් තිබීම හේතුවෙනි.

ලෝක කුසලාන අවසන් තරගයේ පිටියේ විනිසුරුවරුන් දෙදෙනාගෙන් එක් අයෙකු ලෙස කටයුතු කිරීම සඳහා කුමාර ධර්මසේන මහතාට අවස්ථාව ලැබී ඇති අතර සුපුරුදු පරිදි මෙවරත් අවසන් තරගයේ තරග තීරකවරයා ලෙස කටයුතු කරන්නේ රන්ජන් මඩුගල්ලේ මහතායි.

අවසන් තරගයේ පිටියේ අනෙක් විනිසුරුවරයා ලෙස දකුණු අප්‍රිකාවේ මරායස් එරාස්මස් තෝරගෙන ඇති අතර තෙවැනි විනිසුරු ලෙස ඕස්ට්‍රේලියාවේ රොට් ටකර් සහ අතිරේක විනිසුරුවරයා ලෙස පකිස්තානයේ අලීම් ඩා තෝරාගෙන තිබෙනවා.

2006 වසරේදී ක්‍රීඩකයෙකු ලෙස ජාත්‍යන්තර පිටියට සමු දුන් කුමාර ධර්මසේන 2009 වසරේ විනිසුරුවරයෙකු ලෙස නැවත පිටියට අවතීර්ණ වූයේ මෙරට ලාබාලතම ජාත්‍යන්තර විනිසුරුවරයා ලෙසයි. මීට පෙර 2015 එක්දින ලෝක කුසලාන අවසන් තරගයේදී හා 2016 වසරේ 20/20 ලෝක කුසලාන අවසන් තරගයේදී පිටියේ විනිසුරුවරයෙකු වශයෙන් කටයුතු කර ඇති ඔහු 2012 සහ 2018 යන වසර දෙ‍ෙක්දීම ලොව හොඳම විනිසුරුවරයාට හිමි ඩේවිඩ් ෂෙපර්ඩ් සම්මානය දිනාගැනීමට සමත් වූ ලොව කීර්තිමත්ම විනිසුරුවරයෙකි.

එක්දින ලෝක කුසලාන අවසන් තරග සඳහා ක්‍රීඩකයෙකු ලෙස මෙන්ම විනිසුරුවරයෙකු ලෙස ද සහභාගි වීමේ දුර්ලබ වාසනාව හිමිකර ගත් එකම පුද්ගලයා වන්නේ ද කුමාර ධර්මසේන මහතාය. ඔහු මේ වනවිට ටෙස්ට් තරග 60 කට, එක්දින තරග 102 කට හා 20/20 තරග 22 කට පිටියේ විනිසුරුවරයෙකු වශයෙන් සිය දායකත්වය ලබා දී තිබේ.

අවසන් තරගයේ තරග තීරකවරයා ලෙස කටයුතු කරන රන්ජන් මඩුගල්ලේ මහතා 1993 දී තරග තීරක වෘත්තිය ආරම්භ කළ අතර ඔහු 2001 වසරේ සිට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ප්‍රධාන තරග තීරකවරයා ලෙස කටයුතු කරයි. ඔහු මේ වනවිට තීරකවරයා ලෙස කටයුතු කර ඇති සමස්ත ජාත්‍යන්තර තරග ප්‍රමාණය 644 කි. ඒ අතරින් ටෙස්ට් තරග 187 ක තීරකවරයා ලෙස කටයුතු කර ඇති අතර ටෙස්ට් තරග 100 කට වඩා සිය සේවය ලබාදුන් පළමු සහ එකම තරග තීරකවරයා වන්නේද ඔහුය. එමෙන්ම එක්දින තරග 300 ඉක්මවූ සහ 20/20 තරග 100 සමීපයට පැමිණි පළමු තරග තීරකවරයා වන්නේ ද රන්ජන් මඩුගල්ලේ මහතාය.

මඩුගල්ලේ මහතා මීට පෙර අවස්ථා ගණනාවකදී එක්දින හා 20/20 ලෝක කුසලාන අවසන් තරග සඳහා තරග තීරකවරයා ලෙස කටයුතු කර තිබේ.

UN