බදූර්දීන් සතොසෙන් ලක්ෂ 50,000ක් වංචා කරලා - පොහොට්ටුව

බදූර්දීන් සතොසෙන් ලක්ෂ 50,000ක් වංචා කරලා - පොහොට්ටුව

12 July 2019 06:59 am

රිෂාඩ් බදූර්දීන් මහතා වාණිජ හා කර්මාන්ත කටයුතු අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් සිටියදී සතොස ආයතනයෙන් රුපියල් ලක්ෂ 50,000ක් වංචා කර ඇති බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ චෝදනා කරයි. 

2015 අප්‍රේල් මාසයේදී සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ආනයනය කිරීම හරහා මෙම වංචාව සිදුකර ඇති බවටයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක මහතා චෝදනා කළේ. 

සතොස ආයතනය සතුව සහල් මෙට්‍රික් ටොන් 80,000ක් තිබියදී මෙසේ පිටරටින් තවත් සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ගෙන්වීමට අමාත්‍යවරයා කටයුතු කර ඇති බව පැවසූ ඒ මහතා එම සහල් තොග වරායෙන් මුදා නොගෙන වරාය ගබඩාවල මාස 15ක් රඳවාගෙන සිට ඇති බවත් ඊට ගුදම් ගාස්තු ලෙස පමණක් රුපියල් ලක්ෂ 3520ක් ගෙවීමට සිදුව ඇති බවත් ප්‍රකාශ කළේය. 

අවසානයේ කිලෝවක් රුපියල් 70 බැගින් ආනයනය කළ මෙම සහල් මිනිස් පරිභෝජනයට නුසුදුසු බව පවසමින් රුපියල් 38 බැගින් විකුණා දමා ඇති බවත් ඒ හරහා සිදුවූ පාඩුව රුපියල් ලක්ෂ 25,000ක් පමණ වන බවත් ඒ මහතා සඳහන් කළේය. 

තමන් මේ සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට ද පැමිණිලි කළ බවත් ඒ මහතා පැවසීය. 

ඩී. වී. චානක මහතා මේ බව පැවසුවේ ඊයේ (11) පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය හමුවක් අමතමිනි. 

RN