ගෝඨාගේ කෝටි 1140 නඩුව සැප්තැම්බරයට කල්යයි

ගෝඨාගේ කෝටි 1140 නඩුව සැප්තැම්බරයට කල්යයි

12 July 2019 05:51 am

ඇවන්ගාඩ් සමාගම සමඟ එක්ව රුපියල් කෝටි 1140ක මුදලක් රජයට පාඩු කිරීම සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම විසින් ගොනු කර ඇති නඩුව සැප්තැම්බර් 20 වනදා දක්වා කල් තැබීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (11) නියම කළේය. 

ඒ, එම නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය හමුවේ විභාගයට ගත් අවස්ථාවේදීය. 

මෙම නඩුවට එරෙහිව ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කර ඇති අභියාචනයේ තීන්දුව ලැබෙනතුරු නඩු විභාගය වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් ලබාගෙන ඇති නිසා නඩුව මෙසේ කල් තබන බවයි මහේස්ත්‍රාත්වරිය ප්‍රකාශ කළේ. 

නඩුවෙහි විත්තිකරුවන් වන ගෝඨාභය රාජපක්ෂ මහතා මෙන්ම ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති යන දෙදෙනාම මේ වනවිට සිංගප්පූරුවේ වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටින බව ද ඔවුන්ගේ නීතීඥවරුන් විසින් අධිකරණයට දැනුම් දුන් අතර විදෙස්ගතව වෛද්‍ය ප්‍රතිකාර ලැබීමේ අයිතිය පිළිගන්නා නමුත් ඔවුන් මීළඟ නඩු දිනයේදී අනිවාර්යයෙන් අධිකරණය හමුවේ පෙනී සිටිය යුතු බව ද මහේස්ත්‍රාත්වරිය අවධාරණය කළාය. 

2010 වසරේ සිට 2014 වසර දක්වා වූ කාලසීමාව තුළ ගාලු වරාය ආසන්නයේ සමුද්‍ර තීරයේ පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමට ඇවන්ගාඩ් මැරිටයිම් සර්විසස් සමාගමට අනුමැතිය දීම තුළින් රජයට රුපියල් බිලියන 11.4 ක පාඩුවක් සිදු කළ බවට චෝදනා කරමින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් අට දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම මෙම නඩුව ගොනු කර තිබේ.

RN