ත්‍රස්ත චෝදනාත් බොරු. රැඳවුම් නියෝගයත් අවලංගුයි. සාෆි 25 දක්වා රිමාන්ඩ්

ත්‍රස්ත චෝදනාත් බොරු. රැඳවුම් නියෝගයත් අවලංගුයි. සාෆි 25 දක්වා රිමාන්ඩ්

12 July 2019 05:18 am

කුරුණෑගල රෝහලේ වෛද්‍ය සහාබ්දීන් සාෆි මහතාට එරෙහිව පතුරුවා හැර තිබුණු ත්‍රස්තවාදී චෝදනා ඔප්පු කිරීමට සාක්ෂි හමු නොවූ බවත් ඒ අනුව ඔහුව මාස තුනක කාලයක් රඳවා තබාගැනීම සඳහා ආරක්ෂක අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබුණු රැඳවුම් නියෝගය අවලංගු කෙරුණු බවත් නීතිපති දෙපාර්තමේන්තුව ඊයේ (11) අධිකරණයට දැනුම් දුන්නේය. 

ඒ, එම නඩුව කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරියේ කැඳවූ අවස්ථාවේදීය. 

එසේම ඔහුට එරෙහිව ඉදිරිපත් වී ඇති අයථා වත්කම් චෝදනාත් ඔප්පු කිරීම සඳහා සාක්ෂි මෙතෙක් ලැබී නොමැති බව පැවසූ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේ මහතා එනමුත් ඒ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කෙරෙන බවයි සඳහන් කළේ. 

එසේම වෛද්‍යවරයා විසින් සිදුකළ සිසේරියන් සැත්කම්වලදී විවිධ සංකූලතා ඇතිවීයැයි යන සැකයෙන් පැමිණිලි ඉදිරිපත් කළ මවුවරුන් 850කට අධික පිරිසක් සිටින බවත් ඔවුන් සියලු දෙනාගෙන්ම වෙන වෙනම ප්‍රකාශ සටහන් කරගෙන රෝහල් ඇඳ ඉහපත් ලබාගෙන පූර්ණ පරීක්ෂණයක් කළ යුතු අතර එම රෝහලේ අනෙක් වෛද්‍යවරුන් ද වෙන් වෙන්ව කළ සිසේරියන් සැත්කම් ගැන විමර්ශනය කර ඒවායෙන් ද සංකූලතා ඇතිවී ඇත්දැයි වාර්තාවක් සකස් කළ යුතු බවත් ඒ මහතා අධිකරණයට දැනුම් දුන්නේය. 

දරුඵල නොමැතිවීම සම්බන්ධයෙන් පැමිණිලි කර ඇත්තේ මවුවරුන් 147 දෙනෙකු පමණක් බැවින් ඔවුන්ව විශේෂඥ වෛද්‍ය මණ්ඩලයේ උපදෙස් මත SHG පරීක්ෂණයකට ලක්කිරීම සඳහා නියෝගයක් ලබාදෙන මෙන් ද ඒ මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය. 

වෛද්‍ය සාෆිට එරෙහි කිසිදු චෝදනාවක් ඔප්පු වී නොමැති බැවින් ඔහුව ඇප මත නිදහස් කරන ලෙස ඔහුගේ නීතීඥවරුන් ඉල්ලා සිටි නමුත් මෙය මහජන කැළඹීමකට තුඩුදිය හැකි නඩුවක් බැවින් ඔහුව ලබන 25 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කළේය. 

RN